සංගීත ප්‍රසංග, සැණකෙළි සඳහා පොලිසියේ ගාස්තුවෙන් භාගයක් අඩු කෙරේ


සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න

සංගීත ප්‍රසංග සහ සැණකෙළිවල ආරක්ෂාව සඳහා යෙදවෙන පොලිස් නිලධාරීන් වෙනුවෙන් අය කෙරෙන ගාස්තු සියයට පනහකින් අඩු කිරීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී පෙරේදා (20දා) පැවසීය.

සංගීත ප්‍රසංග....
මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළේය. සංගීත ප්‍රසංග සහ සැණකෙළි වෙනුවෙන් ආරක්ෂක වියදම් වැඩි කෙරුණු බවත් මේ පිළිබඳව එම සංවිධායකවරුන් හා ශිල්පීන් ජනාධිපතිවරයා සහ තමා හමුවී ඔවුන්ගේ ගැටලු‍ව ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ  චිත්‍රාල් ප්‍රනාන්දු මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

චිත්‍රාල් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.

“සංගීත ප්‍රසංග හා සැණකෙළිවලින් ලක්ෂ දහයක් විතර සෘජුව වක්‍රව යැපෙනවා. මාර්තු මාසයේ දී චක්‍රලේඛයක් නිකුත් කර ප්‍රසංග සංවිධායකයන් පොලිස් නිලධාරීන්ට ගෙවිය යුතු මුදල වැඩි කරලා තියෙනවා. මේ සංවිධායකයන් මේක ගෙවන්න ඕන. විනෝද බද්දත්  එක එක ගණන් ගෙවන්න ඕන. ක්‍රීඩාංගණවලට වෙනම ගෙවන්න ඕන. කිසිම පහසුකමක් නැතුව.  

කොස්තාපල්වරයෙකුගේ වියදම වූ රුපියල් 900, දැන් රුපියල් 4800ක් කරලා. එක දවසකට. සැරයන් කෙනෙකුට ගෙවූ රුපියල් 1200, රුපියල් 5200ක් කරලා. සැණකෙළියක් කළොත් ලක්ෂ ගාණක වියදමක්. පසුගිය මාස කිහිපයට පොලීසියට ලක්ෂ එකසිය විස්සක් ගෙවලා. ගිය  අවුරුද්දටම ගෙවා තියෙන්නේ ලක්ෂ 40යි.”