ශ්‍රීලනිපය ආපසු හැරෙයි


අජන්ත කුමාර අගලකඩ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අර්බුදයක් පවතින බැවින්, පැරණි  ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂයට දැනුම් දී ඇත.

මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට ලිපියක් යවමින් මෙම  දැනුම්දීම කර ඇත. පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක්  ලැබෙන තෙක්, පැරණි  ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නැයි ද එමගින් දන්වා ඇත.


පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීන්දුවට එරෙහිව නිමල් සිරිපාල ද සිල්වා  මහතා සිවිල් අභියාචනාධිකරණයෙන් ලබා ගත් තීන්දුව ඔහු විසින් මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරන ලද අතර, එය සැලකිල්ලට ගනිමින් කොමිෂන් සභාව මෙම ලිපිය නිකුත් කර ඇතැයි දැනගන්නට ඇත.
ආණ්ඩුවට එක් වූ නිමල් සිරිපාල, මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසට ඒ තත්ත්වය අනුව, ඔවුන් කලින් දැරු පක්ෂ තනතුරුද යළි  හිමිවෙන්නට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.