ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළ පුළුල් කරගැනීමට ඉන්දුනීසියාවෙන් ඉඟියක්


උපුල් වික්‍රමසිංහ

කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව සංවිධානයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීම මගින් ශ්‍රී ලංකාවට එහි අපනයන වෙළෙඳපොළ පුළුල් කර ගැනීමට අවකාශය හිමි වන බව ද වඩාත් වැදගත් වන්නේ ඉහළ ප්‍රතිලාභ අත් කරගැනීම සඳහා වැඩි වශයෙන් විවෘත වීම බව ද ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි දෙවි ගුස්ටිනා පසුගිය දා කොළඹ දී පැවසුවා ය.

RCEP සංවිධානය විශාලතම වෙළෙඳ සංවිධානයක් බවත් එහි සාමාජිකත්වය ලබා ගැනීම මගින් තමන්ගේ අපනයන වැඩි කර ගැනීමට ශ්‍රී ලංකාවට ඉහළ හැකියාවක් ඇති බවත් කී තානාපතිනිය, ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම මගින් විදේශ සංචිත ඉහළ නංවා ගැනීමට හැකි බව ද සඳහන් කළා ය.

“ඔබට (ශ්‍රී ලංකාවට) හුදකලා වෙන්න බෑ. ඉහළ ප්‍රතිලාභ ලැබීමට නම් ඔබ විවෘත විය යුතුයි” දෙවි ගුස්ටිනා වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

RCEP සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මීට ඉහත දී ප්‍රකාශ කර තිබූ අතර RCEP සංවිධානයේ සාමාජික රටක් හැටියට එහි සාමාජිකත්වය ලබා ගැනීම මගින් ශ්‍රී ලංකාවට අත් කර ගත හැකි ප්‍රතිලාභ පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඇය මේ බව කීවා ය.

ඇය මේ අදහස් පළ කළේ පාත්ෆයින්ඩර් ආයතනය විසින් ඉකුත් 16 වැනිදා සංවිධානය කරන ලද වට මේස සාකච්ඡාවේ ප්‍රධාන දේශනය පවත්වමිනි.