ශරීරයට අහිතකර සම සුදු කරන ක්‍රීම් වර්ග 08 ක් රට පුරා - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව


නිරෝෂාන් ප්‍රේමරත්න

ඖෂධ නියාමන අධිකාරිය මගින් නිසි පරිදි සුවඳ විලවුන් හා රූපලාවණ්‍ය ආලේපන වර්ග නියාමනය නොකිරීම නිසා මේ වන විට දිවයින පුරා සම සුදු කරන විවිධ ආලේපන වර්ග 08 කට වැඩි ප්‍රමාණයක් පවතින බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.

මෙම බොහෝ ආලේපන වර්ගවල පැවතිය යුතු නියමිත ප්‍රමිතිය නොමැති වීමෙන් තරුණ තරුණියන් දුර්වර්ණ වීමේ අවදානමකට ගොදුරු වන බව ද ඔහු කීවේය.

2015 ඖෂධ නියාමන අධිකාරී පනත අනුව මෙරට සුවඳ විලවුන් හා ආලේපන වර්ග, ඖෂධ වර්ග නියාමනය කිරීමට පවතින නීත්‍යනුකූල අයිතිය ඉවත් වීමත් සමඟ මේ අන්දමට රට පුරා මිනිස් සිරුරට හානිකර බැර ලෝහවලින් සමන්විත ශරීරය සුදු පැහැය වැඩි කිරීමට හේතුවන බොහෝ ක්‍රීම් වර්ග වෙළෙඳ සල් මගින් සහ ඔන්ලයින් ක්‍රමයට අලෙවි කරන බව පෙන්වා දෙයි. 

Extra White, Make Me White, Extract, Perfect White, Uv Lightening, Pure Skin, Body Treat,  සහ Dudo Up කාණ්ඩවලට අයත් ඖෂධ හා ආලේපන වර්ග අධික රසදිය, ක්විනීන්, ස්ටෙරොයිඩ සහ වෙනත් බැරලෝහ වර්ගවලින් යුක්තව වෙළඳපොළේ අලෙවි කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ප්‍රමිතියට අනුව මෙම සංයෝගවල තිබිය යුතු උපරිම රසදිය මට්ටම කොටස් දස ලක්ෂයකට එකක් වුවත් වෙළඳපොළේ පවතින බොහෝ ආලේපන වර්ගවල මෙම මට්ටම කොටස් දස ලක්ෂයකට 10,000 හෝ 20,000 සීමාවේ පවතින බවද ඔහු පෙන්වා දෙයි.

බොහෝ රූපලාවණ්‍ය ශිල්පීන්, නිරූපණ ශිල්පීන්, ආයුර්වේද වෛද්‍යවරුන්, චීන කටු චිකිත්සක වෛද්‍යවරුන් ඇතුළු සුදුසුකම් නොමැති බොහෝ දෙනකු මේ වන විට මෙම සුදු වන ක්‍රීම් වර්ග ස්වයං රැකියාවක් ලෙස නිෂ්පාදනය කොට අලෙවි කරන බවද ඔහු පෙන්වා දෙයි.

කොළඹ - පිටකොටුව - කොටුව මල්වත්ත පාරේ මෙම ක්‍රීම් වර්ග තොග මිලට මිලදී ගත හැකිවන අතර ඉන් පසුව ඒවා ආකර්ෂණීය බඳුන්වල දමා ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කරන තවද වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ඖෂධ නියාමන අධිකාරිය සහ කාර්මික තාක්ෂණ ආයතන එකතුව මෙම සුවඳ විලවුන් හා ආලේපන වර්ග නියාමනය සඳහා ප්‍රතිපත්තියක් සකස්කොට නීතිමය පදනමක් ඉදිරිපත් කරනතුරු මෙම ජාවාරම නීතියේ රැහැන්වලින් රිංගා සිදුකිරීමට මෙම කණ්ඩායම්වලට හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මීට අමතරව ග්ලූටතියෝන් Glutathione iv  එන්නත හෝ ක්‍රීම් වර්ගද පෙති වර්ගද මැද පෙරදිග රටවල සිට මෙරටට ගෙනවිත් එන්නත් කිරීම සිදුකරන අතර මෙම සියලු‍ ඖෂධ භාවිත කිරීම නිසා සමෙහි පවතින සාමාන්‍ය පැහැය දුර්වර්ණ වීම සිදුවන බවත් අක්මා රෝග, වකුගඩු රෝග, සම ආශ්‍රිත පිළිකා තත්ත්ව හා දැඩි අසාත්මික ප්‍රතික්‍රියා ඇතිවීම සංකූලතා ලෙස දැකිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි. 

මෙවන් ආලේපන වර්ග හෝ එන්නත් වර්ග ලබා ගන්නා බොහෝ දෙනකුගේ සමේ පවතින සාමාන්‍ය පැහැය දැඩි ලෙස දුර්වර්ණ වූ පසුව නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම කළ නොහැකි වන බැවින් සුදුසුකම් සහිත බටහිර වෛද්‍යවරුන්ගෙන් සමේ පවතින රූපලාවණ්‍ය සම්බන්ධ ගැටලුවට විසඳුම් ලබාගැනීමට කටයුතු කළ යුතු බව පෙන්වා දෙයි. දැනටමත් රූපලාවණ්‍ය විෂය සම්බන්ධව විශේෂඥ අධ්‍යාපනය ලද වෛද්‍යවරුන් මෙරට සේවය කරන බවද ඔහු පවසා සිටී.