වෙන්නෙ මොකක්දැයි නොදන්නා අභියාචනා මණ්ඩලයක්


උපුල් වික්‍රමසිංහ

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් පසුගිය රජය කාලයේ දී පත් කරන ලද කමිටුවෙන් ගන්නා තීරණවලට එරෙහිව ඉදිරිපත් වෙන අභියාචනා විභාග කිරීමට පත් කළ අභියාචන මණ්ඩලයේ (Divestiture Appeals Board of State-Owned Enterprises -DAB) ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහි සාමාජිකයන් දැනුම්වත් නොකිරීමෙන් ඔවුන් අපහසුතාවට මුහුණ දී සිටින බව වාර්තා වෙයි.

එම මණ්ඩලය සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත වන අතර වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු එය විසුරුවා හැර ඇත්ද හෝ එහි කටයුතු ඉදිරියට පැවැත්වෙන්නේ ද යන්න ගැන එහි සාමාජිකයන්ට මේ දක්වා කිසිදු නිල දැනුම්දීමක් කර නැතැයි දැනගන්නට ලැබේ.

හිටපු ජනාධිපති ලේකම්වරයාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති මේ පත්වීම් ලිපිවල දිනය ලෙස සටහන් වන්නේ 2023.12.22 ය. එහි අංකය PS/M&E-04/04 වේ. 

ඉකුත් රජය සමයේ පූර්ණ වශයෙන් පෞද්ගලිකකරණය කිරීමට යෝජනා වූ ශ්‍රී ලංකන් එයාර්ලයින්, එස්.එල්.ටී. මොබිටෙල් ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන් රැසක් පෞද්ගලිකකරණය කිරීමටත් තෝරා ගත් රාජ්‍ය බැංකුවල කොටස්හි ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයට ඉඩ දීමටත් අදාළ කමිටුව විසින් පියවර ගනු ලබමින් සිටි අතර එකී ක්‍රියාවලියේ දී ඒවාට එරෙහිව ඉදිරිපත් වෙන අභියාචනා විභාග කිරීම මෙම මණ්ඩලයට පැවරුණු ප්‍රධාන වගකීම විය.

වත්මන් රජය බලයට පත් වූ පසු ශ්‍රී ලංකන් ආයතනය පෞද්ගලිකකරණය නොකරන බව ප්‍රකාශ කළෙන් සිය කමිටුව තවදුරටත් පවත්වා ගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතු බව කමිටුවේ සාමාජිකයෙක් ඉරිදා ලංකාදීපයට කීවේය.