නිශාන්ත කුමාර බණ්ඩාර
වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ යුතු නිලධාරීන් ජුනි 30 වැනිදාට පෙර ඒවා ඉදිරිපත් කිරීමට අසමත් වුවහොත් අනිවාර්යයෙන් විශාල දඩ මුදලකට යටත් වන බව අල්ලස් හෝ දුෂණ විරෝධි කොමිසම සඳහන් කරයි.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත හඳුන්වාදීමෙන් පසු එහි 80/1 වගන්තිය ප්‍රකාරව වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පුද්ගලයන් අනිවාර්යයෙන්ම එදිනට පෙර ඒවා ඉදිරිපත් කළ යුතු බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සඳහන් කරයි.
එසේ ප්‍රමාද වුවහොත් දඩයකට හෝ අධිකරණ ක්‍රියාමාර්ගයකට ලක්විය හැකි බව ද ඔහු සඳහන් කළේය. මෙවර එය සිදුවන්නේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහායි. මීට පෙර පැවති ආකාරයට පෝරමයක් පුරවා ඉදිරිපත් කළ නොහැකි බව ද හෙතෙම කීය.
ඒ අනුව මෙම මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය2026 මාර්තු 31 වැනිදා එළිදක්වා තිබේ. නමුත් දැනටමත් එම පද්ධතියට ලියාපදිංචි වී ඇති පිරිසක් ඉතාම අල්ප බව ඔහු සඳහන් කළේය. කඩිනමින් එම පද්ධතියේ ලියාපදිංචි වත්කම් හා බැරකම් ඉදිරිපත් කරන ලෙස ඔහු දන්වා සිටියි. සමහර කාණ්ඩයන් මේ ගැන නොදැන සිටින බව පෙනී ගොස් ඇති අතර මීට පෙර වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු පිරිසට අමතරව නව නිලධාරීන් පිරිසක්ද ඇතුළත් කර තිබේ.
දූෂණ විරෝධී පනතට අනුව මෙය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වගකීමක් නොවන අතර සෑම නීත්‍යනුකූල පුරවැසියකුගේ වගකීමකි.
වෘත්තිය සමිතිවල විධායක නිලධාරීන්, පුවත්පත් ආඥා පනතේ දෙවැනි වගන්තිය යටතේ ලියාපදිංචි වී ඇති පුවත්පත් ආයතන, එහි හිමිකරුවන්, කර්තෘවරුන්, කර්තෘ මණ්ඩල සාමාජිකයන්, බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් හා කර්තෘ මණ්ඩල සාමාජිකයන් අලුතින් ඇතුළත් කර තිබේ.
ක්‍රීඩා පනතට අනුව පිහිටුවනු ලැබූ ක්‍රීඩා සමිතිවල නිලධාරීන්, රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ සියලු මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් ද මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.
ඒ අනුව මාණ්ඩලික නිලධාරියක නම් මෙම වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ යුතු අතර එය නොදන්නේ නම් ඒ පිළිබඳව තම ආයතන ප්‍රධානියාගෙන් විමසන ලෙසද ඔහු සඳහන් කළේය.
ඊට අමතරව මෙවර නව කාණ්ඩයක් ඇතුළත් කර තිබේ.
රේගු ආඥා පනතේ 115 වැනි වගන්ති ප්‍රකාරව බලපත්‍රලාභී වාප්පු ලිපිකරුවන් ද ඇතුළත් කර තිබේ.
මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ ආකාරය පිළිබඳ අවශ්‍ය සියලු තොරතුරු කොමිසමේ 1954 දරන කෙටි දුරකථන අංකයට ඇමතුමක් ලබාදී දැනගැනීමේ හැකියාව තිබේ. ඊට අමතර වත්කම් හා බැරකම් අංශයට ඇමතුමක් ලබාදීමෙන් විස්තර දැනගත හැකි බවද අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක පැවසීය.

