විසි දෙක ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය සඳුදා කථානායකට විශේෂ පක්ෂ නායක රැස්වීමක් 21


සුජිත් හේවාජුලිගේ

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සඳුදා 21 වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට බාරදීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම පෙත්සම් විභාගයට අදාළ අධිකරණ කටයුතු සඳහා ව්‍යවස්ථාවෙන් ලැබෙන කාලය අවසන් වන්නේ ද ලබන සඳුදා ය.

චීනයේ සංචාරයක නිරතව සිටින කථානායකවරයා (18) නැවත පැමිණීමට නියමිතව සිටියේය. 

මේ අනුව විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ    මතය බොහෝදුරට 22වැනි අඟහරැවාදා මැතිසබයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.  

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ හදිසි රැස්වීමක් ලබන 21 වැනි සඳුදා පැවැත්වීමට තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කර තිබිය දී මෙසේ හදිසි පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමක් පවත්වන්නේ කුමකටද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැතැයි  පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසුවේය.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන  සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 24 සහ 25 දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තුව කටයුතු කාරක සභාව දැනටමත් තීරණය කර ඇත.