විශ්‍රාමිකයන්ගේ දත්ත අනතුරේ?


පද්ධතිය යථා තත්ත්වයට - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

ලවංගා මාධවී දෑරංගල

පසුගිය අප්‍රේල් මාසයේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට එල්ල වූ Ransomware සයිබර් ප්‍රහාරය හේතුවෙන් විශ්‍රාමිකයන්ගේ දත්ත හැකර්වරුන් අතට පත්ව ඇති බැවින් ඇතැම් විශ්‍රාමිකයන් නොදැනුවත්භාවය හේතුවෙන් විවිධ මූල්‍ය වංචාවලට ලක් විය හැකි බව තොරතුරු තාක්ෂණ අංශ පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් 'ඩිජිටල් ට්‍රස්ට් එලායන්ස්' හි සභාපති ලක්මාල් ඇඹුල්දෙණිය ‘ඉරිදා ලංකාදීප’යට ප්‍රකාශ කළේ එම තොරතුරු දැනටමත් නීති විරෝධී වෙබ් අඩවිවලට ඇතුළත් කර ඇති බවත්, ඒ හේතුවෙන් හා විශ්‍රාමිකයන් තාක්ෂණික දැනුමෙන් අඩු කොට්ඨාසයක් වන බැවින් නොයෙක් මූල්‍ය වංචාවලට හසුවීමේ අවදානමක් ඇති බවත් ය.

ඇතැම් කණ්ඩායම් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත්, දුරකථන අංක, බැංකු ගිණුම් අංක ආදිය මඟින් අයුතු ප්‍රයෝජන ගැනීමට ඉඩ ඇති බව ද හෙතෙම පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ පවසනුයේ මේ සම්බන්ධයෙන් සිය සංසදය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක් ව පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි. කෙසේ වෙතත් විශ්‍රාම වැටුප්ලාභීන් මෙහි දී විශේෂයෙන් සිය තොරතුරු සම්බන්ධයෙන් පැමිණෙන සැක කටයුතු දුරකථන ඇමතුම් කෙටි පණිවිඩ ආදියත්, OTP අංක හෝ මුර පද සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉල්ලීම් ආදියත් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්, එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවුවහොත් හැකි ඉක්මනින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු දැනුවත් කරන ලෙසත්  ඔහු තවදුරටත් ඉල්ලා සිටී.

ඒ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයෙහි සඳහන් වෙන්නේ, එම ප්‍රහාරය මගින් කිසිදු පද්ධතියක කටයුතු අඩාළ වී නොමැති බවත්, සේවා අකර්මණ්‍ය නොවන පරිදි පද්ධතිය යථා තත්ත්වයට පත් කර ඇති බවත් ය.