උපුල් වික්‍රමසිංහ
නයිජීරියාව ඇතුළු විදෙස් රටවල ලියාපදිංචි කරන ලද දුරකථන අංකවලින් වට්ස්අප් දුරකථන ඇමතුම් ලබා දෙමින් එම ගිණුම් හැක්කර නොයෙක් මූල්‍ය වංචාවල නිරතවන්නන් පිළිබඳ ලැබෙන පැමිණිලි ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වා දෙන්නේ 2025 වසරේ මේ දක්වා ගත වූ කාලයේ දී එවැනි පැමිණිලි 70 කට වැඩි ගණනක් ලැබී ඇති බව ය.
එලෙස විදෙස් දුරකතන අංකවලින් ඇමතුම් ලබා දෙමින් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගී වීම සඳහා යැයි කියමින් වට්ස්අප් කෝඩ් (Whatsapp Verification Code) ලබා ගන්නා බව ද ඉන්පසු වට්ස්අප් ගිණුම් හිමියාගේ ඇමතුම් ලැයිස්තුවේ සිටින අයට හදිසි අවශ්‍යතාවකට යැයි පවසමින් මුදල් ඉල්ලා සිටින බව ද එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ නිලධාරී චාරුක දමුණුපොළ ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ ය.
ඇමතුම් ලබා දෙන්නන් වට්ස්අප් ගිණුම් හිමියාගෙන් Whatsapp Verification Code අංකය ලබා ගැනීමෙන් පසු අදාළ ගිණුම පාලනය කිරීමේ හැකියාව ලබා ගන්නා අතර ඉන්පසු ගිණුම් හිමියාගේ ඇමතුම් ලැයිස්තුවේ සිටින්නන්ට නොයෙක් පණිවුඩ යවමින් මුදල් ඉල්ලා සිටින බවත් රුපියල් 50,000 - 100,000 අතර මුදලක් මුල් අදියරේදී ඉල්ලා සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවත් හෙතෙම හෙළි කළේ ය.
තමන් නොදන්නා දේශීය හා විදේශීය දුරකතන අංකවලින් ලැබෙන ඇමතුම් ගැන වඩාත් පරීක්ෂාකාරී වීම වැදගත් බව අවධාරණය කළ ඔහු වට්ස්අප් කෝඩ් හෝ වෙනත් මුරපද (Verification Code, OTP - One Time Password) ආදී තොරතුරු බාහිර පාර්ශ්ව වෙත ලබා දීමෙන් වැළකී සිටිය යුතු බව ද සඳහන් කළේ ය. වට්ස්අප් ගිණුම් හිමියන් ද්වීමග සත්‍යාපනය (two-step verification) සක්‍රීය කර ගැනීම වැදගත් බව ද නොදන්නා වෙබ් සබැඳි (Web Links) වලට පිවිස තොරතුරු ලබා දීම ද නොකළ යුතු බවත් ඔහු පැවසීය.
හදිසි අවශ්‍යතාවක් යැයි පවසමින් මුදල් ඉල්ලා තමන් දන්නා කෙනකුගෙන් දුරකතන ඇමතුමක් හෝ පණිවුඩයක් හෝ ලද හොත් වහාම අදාළ පුද්ගලයාගේ දුරකතන අංකයට ඇමතුමක් ගෙන ඒ ඔහු හෝ ඇය ද කියා තහවුරු කරගැනීම අත්‍යවශ්‍ය බව ද ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ නිලධාරියා කීවේය.