ඉන්දික හේවාවිතාරණ
විදුහල්පති සේවාවේ මේ වන විට පුරප්පාඩු 5,000කට ආසන්න ප්‍රමාණයක් ඇති වී තිබෙන අතර එම තනතුරුවලින් 2,500ක් විදුහල්පති තනතුරට අදාළව පුරප්පාඩු වී තිබෙන බව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.
විදුහල්පති සේවාවේ....
මීට අමතරව නියෝජ්‍ය විදුහල්පති හා සහකාර විදුහල්පති තනතුරුවල පුරප්පාඩු ඇති වී තිබෙන බවද එම සංගමය පවසයි.
පුරප්පාඩු වී තිබෙන තනතුරුවල ගුරුවරුන් අදාළ රාජකාරි සිදුකිරීම නිසා එම පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට බාධා ඇතිවී තිබෙන බවත් විදුහල්පති සේවාවට බඳවා ගැනීම සඳහා අවසන් වරට තරග විභාගයක් පවත්වා තිබෙන්නේ 2019 වසරේදී බවත් එම සංගමය පෙන්වා දෙයි.
මේ නිසා විදුහල්පති සේවාවට ඇතුළත් වීමට සුදුසුකම් ලබා තිබෙන ගුරුවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බව සංගමය පවසයි. විදුහල්පති සේවාවෙහි 16,512ක් සේවය කළ යුතු බවත් වැඩබලන තනතුරුවල සේවය කරන පිරිස්වලට පාසල් දියුණුව වෙනුවෙන් ගත යුතු බොහෝ තීරණ ගත නොහැකි බවත් සංගමය පෙන්වා දෙයි.
2019 වසරේදී පැවැත් වූ තරග විභාගයෙන් සමත් වූ 155 ක් 2020 වසරෙහිදී බඳවාගත් බවත් මීට අමතරව 2023 වසරේදී 4,517 ක් බඳවාගත් බවත් සඳහන් කරයි. විදුහල්පති සංගමය මෙසේද සඳහන් කරයි.
“2016 වසරින් පසු 2019 වසරේදී විදුහල්පති සේවයට බඳවා ගැනීමට අදාළ තරග විභාගය පවත්වන ලදි. එම තරග විභාගය සඳහා 21,000 කට අධික පිරිසක් අයදුම්පත් යොමු කර තිබුණි.
පාසල් පද්ධතිය නිසි ලෙස පවත්වාගෙන යාමට නම් ස්ථිර වශයෙන් විදුහල්පති සේවාවේ තනතුරු දැරිය යුතුය. මේ නිසා කඩිනමින් විදුහල්පති සේවාවට බඳවා ගැනීමට අදාළ තරග විභාගය පැවැත්වීමට බලධාරීන් පියවර ගත යුතුය.
මේ පිළිබඳව අවස්ථා ගණනාවකදීම බලධාරීන් දැනුම්වත් කර තිබේ. විදුහල්පති සේවාවට බඳවා ගැනීම් සඳහා අයැදුම්පත් කැඳවීමක් සිදුකළත් තරග විභාගය පවත්වා විභාග ප්‍රතිඑල නිකුත් කර සම්මුඛ පරීක්ෂණ පවත්වා පුහුණුවක් ලබා දී නව බඳවා ගැනීමක් සිදුකිරීමට වසරකට වැඩි කාලයක් ගත වෙයි.