විදුහල්පති සේවයේ පුරප්පාඩු 3000ක්


වසර හයක් බඳවා ගැනීමේ විභාග පවත්වා නැහැ

ඉන්දික හේවාවිතරණ

විදුහල්පති සේවයේ මේ වන විට පුරප්පාඩු 3000කට ආසන්න ප්‍රමාණයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.

විදුහල්පති සේවාවට බඳවා ගැනීම සඳහා අවසන් වරට තරග විභාගයක් පවත්වා තිබෙන්නේ 2019 වසරේදී බවද එම සංගමය පෙන්වා දෙයි.   විදුහල්පති සේවාවෙහි 16512ක් සේවය කළ යුතු බවත් වසර හයකින් බඳවා ගැනීමට අදාළ තරග විභාගයක් පවත්වා නොමැති බවත් සඳහන් කරයි.

2019 වසරේදී පැවැත් වූ තරග විභාගයෙන් සමත් වූ 155 ක් 2020 වසරෙහිදී බඳවා ගත් බවත් මීට අමතරව 2023 වසරේදී 4517 ක් බඳවා ගත්  බවත් සංගමය සඳහන් කරයි. 2020 වර්ෂයෙන් පසු විදුහල්පති සේවයට පැමිණීමට සුදුසුකම් සපුරන ලද ගුරුවරුන් කිසිවෙකුටත් මේ දක්වාම විදුහල්පති සේවයට එක්වීම සඳහා තරග විභාගයකට පෙනී සිටීමට නොහැකි වී තිබෙන බවද එම සංගම් නියෝජිතයෝ පවසති.

2016 වසරින් පසු 2019 වසරේදී විදුහල්පති සේවයට බඳවා ගැනීමට අදාළ තරග විභාගය පැවැත් වූ බවත් එම තරග විභාගය සඳහා 21000කට අධික පිරිසක් අයදුම්පත් යොමු කර තිබූ බවත්‍් ඔවුහු සඳහන් කරති.

දැනට පවතින පුරප්පාඩු අතර විදුහල්පති තනතුරේ හා නියෝජ්‍ය විදුහල්පති තනතුරේ හා සහකාර විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පවතී.

පුරප්පාඩු පවතින තනතුරුවල වැඩ බැලීමේ පදනමින්  ගුරුවරු සේවය කරමින් සිටිති.

පාසල් පද්ධතිය නිසි ලෙස පවත්වාගෙන යාමට නම් ස්ථිර වශයෙන් විදුහල්පති සේවාවේ තනතුරු දැරිය යුතු නිසා කඩිනමින් විදුහල්පති සේවාවට බඳවා ගැනීමට අදාළ තරග විභාගය පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.