විදුලි ගාස්තු අඩුවෙයි


වැඩිම සහනය 30ට අඩු කාණ්ඩයට

යොහාන් භාසුර

සෑම වසරකම ජූලි මස 1 වැනිදා විදුලිය ගාස්තු සංශෝධනයට අනුව විදුලිය ගාස්තුව ඊයේ සිට සියයට 14.2 කින් අඩු කිරීමට රජය තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව සිකුරාදා (30) පැවසීය.

ඒ අනුව ගෘහස්ථ අංශයේ ඒකක 0 ත් 30 ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 65 කින් අඩු කළ බවත් එම කාණ්ඩයේ විදුලිය ඒකකයක් රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කරමින් මාසික ස්ථාවර ගාස්තුව ද රුපියල් 400 සිට 150 දක්වා අඩු කළ බවත් එම කොමිසම සඳහන් කරයි.


ඒකක 31 ත් 60 ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 51.5 කින් අඩු කරමින් ඒකක මිල රුපියල් 42 සිට 32 දක්වා අඩු කෙරෙන අතර මාසික ස්ථාවර ගාස්තු රුපියල් 650 සිට රුපියල් 300 දක්වා අඩු කළ බව කී එම කොමිසම ඒකක 61 ත් 90 ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 24.5 කින් ද අඩු කළ බව ද සඳහන් කරයි. 


ඒකක 91 ත් 120 ත් කාණ්ඩයේ ගාස්තුව ඒකක මිල රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා අඩු කළ බව ද කීය. ආගමික ස්ථානවල ගාස්තුව සියයට 16 කින් අඩු කළ බව කී එම කොමිසම අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථානවලට විදුලිය ඒකකයක් රුපියල් 10 බැගින් ලැබෙන බව ද සඳහන් කළේය. 


හෝටල් අංශය සඳහා සියයට 26.3 ක,  කර්මාන්ත අංශය සඳහා සියයට 9 ක, වාණිජ ගොඩනැගිලි සඳහා සියයට 5 ක සහ රජයේ ගොඩනැගි සඳහා සියයට 1ක ගාස්තු අඩුවීමක් කළ බවත් මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කළේය. 


විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගැනීමට මහජන උපයෝගිතා කොමිසම ජුනි සිකුරාදා පස්වරුවේ එහි සභාපති මහාචාර්ය එම්. ඒ.ආර්.එම්. ප්‍රනාන්දු මහතාගේ ප්‍රදානත්වයෙන් රැස්විය.