විගණකාධිපති තනතුර හිස්ව මාස අටයි: විගණන වැඩ අඩාළයි


සුජිත් හේවාජුලිගේ

රජයේ විගණකාධිපති තනතුර මාස අටකට වැඩි කාලයක් තිස්සේ  පුරප්පාඩු වී පැවතීමෙන් ජාතික විගණන කාර්යාලයේ වැඩ කටයුතු බොහොමයක් අඩපණව ඇතැයි වාර්තාවේ. මේ තත්ත්වය යටතේ විගණන වාර්තා නිකුත් කිරීමද විගණන විමසුම් යැවීමද නතරවී ඇත.

රජයේ විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න පසුගිය අප්‍රේල් මස 8 වැනිදා විශ්‍රාම යාමෙන් පසු එම තනතුර පුරප්පාඩු විය. ඒ අනුව  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල රජයේ විගණකාධිපති තනතුරේ වැඩ බැලීමට අප්‍රේල් මස 09 වැනිදා සිට පත් කෙරිණ. 

කෙසේ වෙතත් ඔහුගේ වැඩ බැලීමේ කාලයද පසුගිය 06 වැනිදා අවසන් විය. ධර්මපාල ගම්මන්පිල ජාතික විගණන කාර්යාලයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන අතර ඔහුගේ සේවා කාලය වසර තිහකට වැඩිය.

ඔහු විගණකාධිපති ධුරයේ  වැඩබැලීම කළ සමයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඔහු එම තනතුරට ස්ථිර කරන ලෙස වරක් දැනුම් දුන්නද එය සිදු නොවීය. අනතුරුව විගණන සේවා සංගම් සහ බහුජන සංවිධාන රැසක  නියෝජිතයෝ ධර්මපාල ගම්මන්පිල එම තනතුරට ස්ථිර කරන ලෙස ජනාධිපතිවරයාට ලිපි යොමු කරමින් නොයෙක් වර ඉල්ලීම් කළහ.

මේ අතර කාලයේදී ජනාධිපතිවරයා රජයේ විගණකාධිපති තනතුර වෙනුවෙන් වරින් වර නම් තුනක් නිර්දේශ කළ නමුත් එම නම් තුනම ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව විසින් ඉවත දමනු ලැබීය.

රජයේ විගණකාධිපති තනතුරට ආයතනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පත්කිරීම මේ දක්වාම සිදු කෙරුණු පිළිගත් ක්‍රමවේදය බව විගණන සහ  රජයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අප මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ දක්වා පැවති සම්ප්‍රදාය අනුව විගණකාධිපති තනතුරට පත් කෙරුණේ ඒ ආයතනයේ සිටින ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම තලයේ සිටින කෙනා බවයි.

ඉහළම කෙනා පත් නොකරන්නේ නම් පත් නොකරන සාධාරණ හේතුව සඳහන් කර එම දෙපාර්තමේන්තුවේ ඊළඟට සිටින කෙනා පත්කිරීම කෙරුණු බව ද ඔහු ප්‍රකාශ කළේය.

ජාතික විගණන කාර්යාලයට බාහිරින් පුද්ගලයන් පත් කිරීමේදී මූල්‍ය ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගැටලු‍ මතුවිය හැකි හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව මෙහිදී ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම වැදගත් බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ආපදාවෙන් පසු රටට විශාල වශයෙන් මුදල් ගලා එමින් පවතින අවස්ථාවක මූල්‍ය විගණනය ශක්තිමත්ව පැවතීම වැදගත් බව පැවසූ  ප්‍රතිභා මහානාම හේවා ආධාර කරන අවස්ථාවලදී බොහෝ රටවල් සහ සංවිධාන අදාළ රාජ්‍යයේ විගණන යාන්ත්‍රණය සම්බන්ධයෙන් වෙසෙසින් අවධානය යොමු කරන බව ද ප්‍රකාශ කළේය.