වැඩි වෙන මනෝ සමාජයීය ගැටලු විසඳීමේ වැඩසටහන් සඳහා කැබිනට් අනුමතිය


නිමල කොඩිතුවක්කු

ශ්‍රී ලාංකිකයන් අතර සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉහළ යාම, මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වීම සහ නව යොවුන් වියේ සහ වැඩිහිටියන් අතර මනෝ සමාජීය ගැටලු‍ පැන නැගීම බහුල ව නිරීක්ෂණය වී ඇති බැවින් මානසික සෞඛ්‍යය පිළිබඳව දැනුම්වත් කිරීම සහ උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමතිය ලැබී ඇතැයි විදෙස් හා සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසීය.

ඒ අනුව, 2025 අයවැය යෝජනාවක් පරිදි මානසික සෞඛ්‍ය ගැටලු‍ විසඳීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස රුපියල් කෝටි 250ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, පාසල් සිසුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් සඳහා දැනුම්වත් කිරීම සහ උපදේශන සේවා පුළුල් කිරීම අරමුණු කරගත් මධ්‍යකාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා, රෝහල් සහ අනෙකුත් අදාළ ආයතන සමඟ එක්ව යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.