වැඩි කළ වැටුප වතුකම්කරුවන් අඩකට අහිමි බවට චෝදනාවක්


නිරෝෂණ කුමාර

එක් ලක්ෂ පනස්දහසක පමණ වතු කම්කරුවන් දැනට සේවයේ නිරතව සිටියත්, රජය විසින් වැඩි කරන ලද වැටුප් ලැබෙන්නේ හැත්තෑ අටදහසක් පමණ වූ පිරිසකට බව වතු වෘත්තීය සමිති පෙන්වා දෙයි.

වතු සමාගම්වල ලියාපදිංචි වතු කම්කරුවන්ට වැඩිකළ රුපියල් දෙසීයක මුදල  ලබා නොදීම අසාධාරණයක් බවද එම නියෝජිතයෝ පවසති. වැඩිකළ වැටුප තවමත් නීත්‍යනුකූල නොවන බවද ඔවුහු කියා සිටිති. 

කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පළවන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අවධාරණය කළේය.

සියලු‍ කටයුතු සිදුවෙන්නේ පාර්ලිමේන්තුවෙහි මේ සම්බන්ධයෙන් පත්කළ මුදල් අනුකාරක සභාවේ දැනුම්වත් වීම අනුව බවද හෙතෙම කීය.  රුපියල් 200 ක වැඩි කළ වැටුප අඛණ්ඩව ලබාදෙන නිසා ඒ පිළිබඳව අනිසි බියක් ඇතිනොකරගත යුතු බවද ඇමතිවරයා අවධාරණය කළේය. එම වැඩි කළ වැටුප ඉදිරියේදී කම්කරුවන්ගේ ගිණුමට බැර කෙරෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.