වාහන වායු විමෝචන භාරකාර අරමුදල අහෝසි කිරීමේ උත්සාහයක්


ඉන්දික හේවාවිතරණ

වාහන වායු විමෝචන භාරකාර අරමුදල අහෝසි කිරීමට යම් පිරිසක් උත්සාහ කරන නිසා ජනාධිපති අනුර කුමර දිසානායක මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පරිසරවේදීහු සඳහන් කරති.

මෙම අරමුදල වසා දැමීමට අදාළ හේතු ලෙස ඉදිරිපත් කර තිබෙන්නේ අරමුදල සතු මුදල් නිසි ලෙස වියදම් නොකිරීම බවද එම පිරිස් පෙන්වා දෙති.

අදාළ කටයුතු සිදුකිරීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින්  නිලධාරීන් 47 ක් අනුමත කර තිබුණත් දැනට අදාළ ආයතනයෙහි සේවය කරන්නේ 11ක් පමණක් නිසා මෙම අරමුදල විසින් සිදුකළ යුතු කටයුතු කිරීම සඳහා උග්‍ර මානව සම්පත් හිඟයක් පවතින බවත් ඔවුහු සඳහන් කරති. 

ලංකාවෙහි  සිදුවෙන වායු දූෂණය අවම කිරීම සඳහා පුරෝගාමී වී කටයුතු කරන්නේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල බවද ඔවුහු පෙන්වා දෙති. GSP+ සහන ලබාදීමට බලන කොන්දේසි අතර දේශගුණික විපර්යාස, පාරිසරික ආරක්ෂණය ප්‍රධාන බව ඔවුන්ගේ අදහසයි.

මෙවැනි තත්ත්වයක් යටතේ සිදුකළ යුත්තේ මෙම ආයතනය වසා දමනවා වෙනුවට අරමුදල ශක්තිමත් කර අදාළ කටයුතු තවදුරටත්  ක්‍රියාත්මක කිරීම බවද ඔවුහු පෙන්වා දෙති. 

වාහනයක් දුම් පරීක්ෂාවට ලක් කරන විට, ලබාගන්නා මුදලින්  කොටසක් රජයට එකතුවෙන බවත්, එය රජයේ බදු මුදල බවත් තවත් කොටසක් පෞද්ගලික ආයතන 2 කට යොමුවෙන බවත්, පෞද්ගලික ආයතන දෙකට යොමු කරන මුදලින් සියයට දහයක් මෙම අරමුදලට බැර වෙන බවත් පරිසරවේදීහු සඳහන් කරති.  

දැනටමත් ලංකාවේ වායු  ගුණාත්මක තත්ත්වයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ  ප්‍රමිතීන්ට පහළින් පවතින හෙයින් ගෝලීය පාරිසරික හා සමාජීය විපර්යාස නිසා සිදුවෙන වායු දූෂණයේ අහිතකර බලපෑම්  ඉදිරියේ දී මෙරටට බලපෑ හැකි බව පරිසරවේදීන්ගේ අදහසයි.