උපුල් වික්‍රමසිංහ
රාජ්‍ය බැංකුවලින් ණය ලබාගන්නා ඇතැම් මහා පරිමාණ සමාගම් සහ ව්‍යාපාරිකයන් හිතාමතාම එම ණය නොගෙවන බැවින් බැංකුවල ණය ගෙවීම පැහැරහැරීමේ ප්‍රතිශතය (එන්.පී.එල්. අගය) සියයට 10 - 13 අතර ඉහළ අගයක පවතින බව වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි.
රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය නැවත නොගෙවන බොහෝ ව්‍යාපාරිකයන් එවැනි කටයුතු කරන්නේ දේශපාලන බලය සහ හිතවත්කම් භාවිත කිරීමෙන් බව නිරීක්ෂණය වන බව ද හෙතෙම සඳහන් කරයි.
මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකු ඒවායේ ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම ලාභ 2025 වසරේ දී වාර්තා කර ඇතත් එම ගණනය කිරීම් කරන්නේ ගෙවීම පැහැර හැර ඇති ණය මුදල් අඩුකිරීමෙන් බව ද ඉරිදා ලංකාදීපය සමග පැවති සාකච්ඡාවක දී මහාචාර්යවරයා අනාවරණය කළේ ය.
එලෙස පැහැර හරින ලද ණය මුදල් අය කර ගැනීමට හැකිවූයේ නම් රාජ්‍ය බැංකු 2025 වසරේ දී වාර්තා කළ ලාභ තවත් සියයට15 කින් පමණ ඉහළ යෑමට ඉඩ තිබූ බව ද ඔහු කීවේ ය.
මේ අතර පෞද්ගලික අංශයේ බැංකුවල ණය ගෙවීම පැහැරහැරීමේ ප්‍රතිශතය සියයට 8 - 10 අතර අගයක පවතින බව ද හෙතෙම අනාවරණය කළේ ය.

