ඉන්දික හේවාවිතරණ
වනඅලි මරණ අවසන් කටයුතු සිදුකිරීම හා හිමිකම් නොපාන මළ සිරුරු භූමදානය සඳහා ග්‍රාම නිලධාරීන් වෙත ලබාදෙන මුදල ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය සඳහන් කරයි.
මේ වසරේ මාර්තු මාසයේ දී අදාළ මුදල් සංශෝධනය කර තිබුණත් වර්තමානයට ගැලපෙන ලෙස කටයුතු සිදුවී නොමැති බවද එම සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න සඳහන් කළේය.
වනඅලි මරණයක් භුමදානය කිරීමේ දී යන්ත්‍ර සුත්‍රවලින් වළ සකස් කළ යුතු බවත් ඉන්ධන ඉසීමට සිදුවන බවත් කුඹුරක හෝ ජලමූලාශයක වන අලියෙකු මියගිය පසු යන්ත්‍ර සූත්‍රවලින් ඔසවා භූමදාන කරන ස්ථානයට රැගෙන යාමට සිදුවන බවත් ඔහු පැවසීය.
වනඅලියෙකුගේ අවසන් කටයුතු සඳහා රජයෙන් රුපියල් 40,000ක මුදලක් ලබා දුන්නත් මේ වන විට එම කටයුතු සඳහා රුපියල් 70,000-80,000 අතර මුදලක් වැය වන බවට ග්‍රාම නිලධාරීන් සඳහන් කරන බව ද හෙතෙම පැවසීය.
මේ වෙන විට වනඅලි මරණ ඉහළ ගොස් තිබෙන නිසා එම කටයුතු සිදුකිරීමට ප්‍රමාණවත් මුදලක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ජාතික සංවිධායකවරයා කියා සිටියේය.
හිමිකම් නොපාන මළ සිරුරු භූමදානය සඳහා ග්‍රාම නිලධාරීන් වෙත මේ වන විට රුපියල් 25000ක මුදලක් ලබාදුන්නත් වැය වන මුදල රුපියල් 50,000කට වැඩි වන බවද ඔහු සඳහන් කළේය. භුමදානයට අවශ්‍ය කම්කරු කුලී, ප්‍රවාහනය හා පෙට්ටිය සඳහා එම මුදල් වැය වන බවද හෙතෙම කියා සිටියේය.
මීට අමතරව ගම්මන්පිල කමිටුව විසින් ග්‍රාම නිලධාරීන්ට ලබාදීම සඳහා නිර්දේශ කළද තවමත් ලබා දී නොමැති දීමනා රැසක් පවතින බව ඔහු පැවසීය. පසුගිය වසරේ මැයි 08 වැනි දින අදාළ නිර්දේශ ඉදිරිපත් කළ නිසා ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් මෙවර අයවැයෙන් වෙන් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බවද හෙතෙම සඳහන් කළේය.
අදාළ කමිටු වාර්තාවෙන් වාර්ෂිකව නිල ඇඳුම් සඳහා රුපියල් 25,000ක දීමනාවක් ලබාදෙන ලෙස නිර්දේශ කළත් ලබා දී තිබෙන්නේ රුපියල් 15,000 දීමනාවක් නිසා ඉතිරි රුපියල් 10,000එකතු කර ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව ද ඔහු පැවසීය.
ග්‍රාමීය වශයෙන් පවතින මාසික කාර්යාල දීමනාව රුපියල් 7,500ක් ලෙස නිර්දේශ කර තිබුණත් ලබා දෙන්නේ රුපියල් 2000ක මුදලක් පමණක් නිසා ඉතිරි මුදල හා නාගරික කාර්යාලයකට රු. 10,000ක දීමනාවක් ලබා දිය යුතු බවට නිරිදේශ කළ ද ලබා දෙන්නේ රුපියල් 3000ක මුදලක් පමණක් බව ද හෙතෙම සඳහන් කළේය.
වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව වසමේ පවුල් ප්‍රමාණය ගණනය කර අවමය රුපියල් 3000ක් ලබාදෙන ලෙස නිර්දේශ කළත් එවැනි ගණනය කිරීමක් සිදුනොකර පොදුවේ රුපියල් 3000ක් ලබා දෙන බවත් එම මුදල ප්‍රමාණවත් නොවන නිසා පවුල් ප්‍රමාණය ගණනය කර අදාළ මුදල ලබා දෙන ලෙසට හා මාසිකව ඉන්ධන ලීටර් විස්සක් ලබාදෙන ලෙසට නිර්දේශ කළත් තවමත් ලබා දෙන්නේ රුපියල් 600ක දීමනාවක් පමණක් බව ද ඔහු සඳහන් කළේය.