චාමර සම්පත්
නිසි ලෙස සනීපාරක්ෂක පහසුකම් නොමැති පවුල් 32,928 ක් තවමත් වැවිලි ක්ෂේත්‍රයේ වතු ආශ්‍රිතව ජීවත්වෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස සඳහන් කර තිබේ. එම ප්‍රමාණය සමස්ත වතු ප්‍රජාවෙන් සියයට 13 කට වැඩි ප්‍රමාණයකි.
වතු ආශ්‍රිත ප්‍රජාව සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ තොරතුරු දැනගැනීමේ ඒකකය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත කරමින් යොමු කරන ලද ඉල්ලීමට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත.
සනීපාරක්ෂක පහසුකම් නොමැති වැඩිම පිරිසක් ජීවත් වෙන්නේ නුවරඑළිය සහ හැටන් ප්‍රදේශවල වෙන අතර එම ප්‍රමාණය පිළිවෙළින් 11, 279 ක් සහ 5,640 කි. මහනුවර දිස්ත්‍රික්කයේ වතු ප්‍රජාවේ පවුල් 3,195 කට, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1,396කට මෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ වතු පවුල් 5,137 කට සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇත.
එමෙන්ම රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වතු ප්‍රජාවේ පවුල් පිළිවෙළින් 3,278 ක් සහ 2,003 ක් සනීපාරක්ෂක පහසුකම් නොමැතිව ජිවත්වන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ලැයින් කාමරවල ජීවත්වෙන පවුල් සංඛ්‍යාව 63,385 ක් වන අතර මෙම පවුල් සියල්ල ලැයින් කාමර 59,290 ක ජීවිතය ගතකරමින් සිටින බවද මෙම තොරතුරු ඇසුරෙන් අනාවරණය වේ.
ලැයින් කාමර හෝ නොමැති තාවකාලික වාසස්ථාන 5,471 ක් තුළ පවුල් 5,654 ක් ජීවත්වෙමින් වතු ආශ්‍රිත රැකියාවල නිරතවෙමින් සිටින බව ද වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ලබාදුන් තොරතුරුවල සඳහන් වේ.
වතු ආශ්‍රිත ජීවත්වන සියලු දෙනාට පානීය ජලය ලබාගැනීමේ පහසුකම හිමිව ඇතත් ඔවුන් නිවාස, සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීමේ දුෂ්කරතාවට තවදුරටත් මුහුණ දෙමින් සිටින බව හෙළිවේ.
මෙරට සමස්ත වතු ප්‍රජාව ලක්ෂ 09ට (993,021) වැඩි වෙන අතර පවුල් ගණන 261,429 කි. මේ අතරින් නුවරඑළිය ප්‍රදේශයේ පවුල් 230,079 ක් සහ හැටන් ප්‍රදේශයේ 218,455 ක් ජීවත්වන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් ආසන්නතම කාලයේ ලබාගත් තොරතුරු අනුව තහවුරු වේ.