වගා ආධාර පෙන්වා ජනතාව ගසා කන බොරු වැවිලි සමාගම් පහක්


සුජිත් හේවාජුලිගේ

වගා කටයුතු සඳහා ආධාර උපකාර කරන මුවාවෙන් ජනතාවගෙන් මුදල් කෝටි ගණනින් වංචා කරන පෞද්ගලික වැවිලි සමාගම් ලෙස පවත්වාගෙන යන ආයතන පහක් පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන  අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය.

එම නියෝජිතයන් රට පුරා මෙම ජාවාරම කරගෙන යන්නේ රජයේ ඇතැම් ප්‍රධාන බැංකුවල ගිණුම් පවත්වාගෙන යමින් බව පවසන මහාචාර්යවරයා ශ්‍රී ලංකා මහා බැංකුව මේ සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර කරුණු සොයා බැලිය යුතු බවද සඳහන් කළේය. මෙම ආයතන නියෝජිතයන් ආගමික ස්ථානවලට උදව් කරන මුවාවෙන් මුලින්ම පැමිණෙන බව කියති.

අනතුරුව එම ආගමික ස්ථානවලට පැමිණෙන ජනතාව ඒකරාශී කරගෙන විවිධ උපදෙස් දෙමින් වගා කටයුතු සඳහා මුදල් ආධාර දෙන බව පවසා ආරම්භයක් ලෙස මූලික මුදලක් තැන්පත් කරවා ගෙන එම මුදල් දෙගුණ කර දෙන බවට ප්‍රකාශ කරමින් මෙලෙස වංචා කරන්නේ යැයි ද වසන්ත අතුකෝරළ පැවසීය.

මෙම නියෝජිතයන් ආගමික ස්ථානවලට උදව් කරන මුවාවෙන්  පැමිණෙන්නේ ජනතාව තුළ විශ්වසනීයත්වයක් ගොඩනංවා ගැනීමේ  අරමුණින් බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙය වංචනික ක්‍රියාවක් බව බැංකු කළමනාකරුවන්ට අවබෝධ වුවත් ඔවුනට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව අඩු බව පවසන මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත හැක්කේ ශ්‍රී ලංකා මහා බැංකුවට බව එම කළමනාකරුවන් පෙන්වා දෙන්නේ යැයිද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වහා විමසිලිමත් වන ලෙස රටවාසී සියලු‍ම  ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.