ලබන සතියේ සිට රට පුරා තද වැසි


නිමල කොඩිතුවක්කු

එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉදිරි සතියේ සිට දිවයින පුරා ව්‍යාප්ත වන තද වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි යැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පැවසීය.

එල්නිනෝ තත්ත්වය ප්‍රබල මට්ටමට වර්ධනය වී ඉදිරි මාස තුනක කාලයේදී මෙම තත්ත්වය උපරිම තලයකට ළඟා වන බවත්, ඒ අනුව ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස දෙක ඇතුළත තදවැසි, ගංවතුර සහ නායයෑම් ඇති විය හැකි බවත්, අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

දෙසැම්බර් මාසයේ දී දිවයිනේ ඊසාන දිග කොටසට වැඩි වර්ෂාවක් බලාපොරොත්තු වන බවද ඔහු කීවේය. දිවයිනට බලපා ඇති එල්නිනෝ තත්ත්වය 1950 වසරේ සිට මේ දක්වා කාලයේ දී වාර්තා වූ දරුණුතම එල්නිනෝව වීමේ සම්භාවිතාව සියයට69 - 75 දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.

ලබන ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයේ දී මෙම එල්නිනෝ තත්ත්වය ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත්වීමේ සම්භාවිතාව සියයට 98ක් තරම් ඉහළ අගයක පවතින බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ගෝලිය පුරෝකථන දත්ත අනුව ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී දිවයිනට ඇදහැළෙන වර්ෂාපතනය සාමාන්‍ය මට්ටමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බවද වර්ෂාව පැවතිය ද දිවයිනට බලපා ඇති උෂ්ණත්වය ඉහළ අගයක් ගනු ඇති බව ද ඔහු කීවේය.

එළැඹෙන වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වර්ෂාපතනය අඩු වී අධික උණුසුම් තත්ත්වයක් පවතිනු ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාසවල උෂ්ණත්වය ඉහළ සහ වර්ෂාපතනය අඩු කාලගුණයක් බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.