විමුක්ති එස්. රුද්‍රිගු
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය සමග බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කවල සිටින පවුල් ලක්ෂ 11 කට මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කඩිනමින් සහාය අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කඩිනමින් සහාය අවශ්‍ය පවුල් ලක්ෂ 11 සඳහා එම සහාය පිසූ ආහාර, වියළි සළාක සහ මුදල් ප්‍රදාන ලෙස ලබාදිය හැකි බවද එම වාර්තාව පෙන්වා දෙයි.
මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ආහාර සුරක්ෂිතතාව සහ කෘෂි කර්මාන්තය යළි ගොඩ නැගෙමින් තිබෙන අවස්ථාවක දිට්වා සුළි කුණාටුව මෙරටට කඩාවැදුණු බවත් ඒ හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් මෙරට ජනතාව මුහුණ දුන් අවදානම් තත්ත්වයන් තවත් දැඩි වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
ඒ හේතුවෙන් මෙරට ලක්ෂ 15 ක ජනතාවක් දැඩි හා මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිතතාවට පත්ව ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි. මෙරට ලක්ෂ 19 ක ජනතාවක් ගංවතුර අවදානමට නිරාවරණය වී ඇති හෙයින් ඔවුන් ඉහළ සහ ඉතා ඉහළ අවදානම් කාණ්ඩ යටතේ ආහාර සුරක්ෂිතතා අවදානම්වලට මුහුණ දී ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බව එම වාර්තාවේ දැක්වේ.
මහ කන්නයට දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර සුළි කුණාටුව පැමිණීමට පෙර ගොවීන් 774,996 ක් විසින් අස්වැද්දූ කුඹුරු හෙක්ටයාර 563,950 ක් තීරණාත්මක වර්ධන අවධියක තිබී ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ. සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ දීර්ඝ කාලයක් පැවැති දැඩි වර්ෂාපතනයත් සමග ඉන් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබෙන බවට ඇස්තමේන්තු කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කර ඇති එම වාර්තාවේ දැක්වේ.
ඒ හේතුවෙන් මෙවර මහ කන්නයේ අස්වැන්න අඩුවෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව එම වාර්තාවේ සඳහන් වේ. ඊට අමතරව අනෙකුත් භෝග වගා හෙක්ටයාර 95,799 ක් සහ එළවළු වගා බිම් හෙක්ටයාර 13,463 ගංවතුර, දිගුකාලීන ජලයෙන් යටවීම සහ සුළං බලපෑම හේතුවෙන් දැඩි හානිවී තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.
එම වාර්තාවට අනුව පසුගිය වසර අවසානවන විට මෙරට පවුල්වලින් සියයට 16ක් දැඩි ආහාර අනාරක්ෂිතතාවකින් පෙළෙමින් ද තවත් සියයට 38 ක් ආහාර අනාරක්ෂිතතාව මග හරවා ගැනීමට ක්‍රියාමාර්ග ගනිමින්ද සිට ඇත. එය වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවදානම් තත්වයට සාක්ෂි සපයන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.
එසේම දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ආපදා තත්වය සමග මෙරට ළමයින් 555,509කට සිය අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා කඩිනමින් සහාය අවශ්‍ය වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ. මූලික දත්තවලට අනුව ගංවතුර බලපෑ ප්‍රදේශවල පාසල් 1,185 ක් තිබී ඇති බවත් ගංවතුරෙන් පාසල් යන වයසේ ළමයින් 458,609 කට සහ ගුරුවරුන් 28,900 කට පීඩා එල්ල වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. එම පිරිසෙන් බොහෝ අයගේ නිවාසවලටද සුළි කුණාටුවෙන් හානි සිදුව තිබෙන බවද දැක්වේ.
සුළි කුණාටුවෙන් ඇතිවූ ගංවතුරෙන් පෙර පාසල් 2,720 ක් සහ පෙර පාසල් යන වයසේ ළමයින් 68,000ක් පීඩාවට පත්ව තිබෙන බවද සඳහන් වේ.

