ලංගම අක්‍රමිකතා නිසා කෝටි 500ක් හොර පාරේ


  • ගමන් වාර කැපිල්ලෙන් කෝටි 243ක්
  • ටයරයෙනුත් කෝටි 35 ක්

 

සුජිත් හේවාජුලිගේ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය සඳහා පිරවූ ටයර් සහ ටයර් පෙරසවි කිරීම ටෙන්ඩරය පිරිනැමීමෙන් තොරව අමාත්‍ය මණ්ඩලයේ තීරණයට ඒවා මිලදී ගැනීම හේතුවෙන් එම මණ්ඩලයට රුපියල් තිස් පන්කෝටි හැට ලක්ෂයකට වැඩි මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.

අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි මෙම භාණ්ඩ මිලදී ගැනීම හේතුවෙන් මණ්ඩලයට රුපියල් කෝටි 284ක මුදලක් ගෙවීමට සිදුවූ  බව ද එම වාර්තාවේ දැක්වේ.

පසුගිය 2023 වර්ෂය සඳහා අවශ්‍ය මුළු ටයර් ප්‍රමාණය මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සලසා තිබියදී එම වර්ෂය සඳහා මාස හතරකට ටයර්  අවශ්‍යතාව පෙන්වා නැවත පිරවූ ටයර් 8849ක් සහ පෙරසවි ටයර් 34859ක් මිලදී ගැනීම සඳහා ලංසු කැඳවා තිබූ අතර ඉදිරිපත් වූ ලංසුකරුවන් 17 දෙනකුගෙන් 14 දෙනකු සාරානුකූල ලංසුකරුවන් ලෙස තෝරාගෙන තිබූ බවත් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කෙරුණු ප්‍රසම්පාදන කමිටුව ලංසු කැඳවීමට පෙර සලකා බැලිය යුතු කරුණු සහ සාධක සලකා බැලීමට යටත්ව අනුමතිය ලබාදීම කල් දමා තිබූ බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සපයන ලද සිලින්ඩර පෙට්ටි එකසිය 176න් සිලින්ඩර් පෙට්ටි 22ක් ප්‍රතික්ෂේප වීමෙන් එම ප්‍රසම්පාදනයෙන් මණ්ඩලයට එක් කෝටි පනස් ලක්ෂයකට ආසන්න මූල්‍ය පාඩුවක් සිදුව තිබුණු බව විගණන වාර්තාවේ දැක්වේ.

මේ අතර රුහුණ ප්‍රාදේශීය කාර්යාලයෙන් පාලනය වන බස් ඩිපෝ ධාවනය කළ යුතු දුර ගමන් සේවා හතළිස් එකක් හා කෙටි ගමන් සේවා එකසිය විසි හතරක් දීර්ඝ කාලීනව නැවතී තිබූ බව පවසන විගණන වාර්තාව සේවා වාර 165ක් ධාවනයට එක් නොකිරීම හේතුවෙන් 2023 වර්ෂයේදී මණ්ඩලයට රුපියල් කෝටි 243කට වැඩි ආදායමක් අහිමිව තිබූ බවද සඳහන් කරයි.

මණ්ඩලයට ග්‍රීස් හා ලිහිසි තෙල් මිලදී ගැනීමට 2023 වර්ෂයේදී රුපියල් කෝටි 104 කට වැඩි මුදලක් වැය කර තිබූ බවත්  එහිදීද  ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට පටහැණිව කටයුතු කර තිබූ බවත්  විගණන වාර්තාව පෙන්වා දෙයි.

මේ තොරතුරු සඳහන් වෙන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.

මෙම දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ බොහෝ නිලධාරීන්ට තවමත් නීතිය ක්‍රියාත්මක වී නැතැයි එම මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය.