ලංකාවේ සිට පිටරට දේපොළ ගත්තොත් වැඩ වරදී


අනවසර විදේශ විනිමය ගනුදෙනුවලට එරෙහිව මහ බැංකුවෙන් නීතිමය පියවර

ලවංගා මාධවී දෑරංගල

අනවසර විදේශ විනිමය ගනුදෙනුවලට සම්බන්ධ වෙන හෝ ප්‍රවර්ධනය කරන ඕනෑ ම අයෙකුට එරෙහි ව විදේශ විනිමය පනත යටතේ නීතිමය පියවර ගන්නා බවට මහ බැංකුව අනතුරු අඟවයි.

මෙම කටයුතු ප්‍රවර්ධනය කරන සමාජ මාධ්‍ය වෙළෙඳ දැන්වීම් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව ඍජු ව නිරීක්ෂණය කළ බවට පෙරේදා(20දා) මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ. එවැනි ගනුදෙනු 2017 අංක 12 දරන විදේශ විනිමය පනත උල්ලංඝනය කරන බවද මහ බැංකුව අවධාරණය කර ඇත.

පවතින රෙගුලාසි යටතේ, ශ්‍රී ලාංකික පදිංචිකරුවන්ට විදේශ දේපළවල ආයෝජනය කිරීමට හෝ එවැනි අරමුණු සඳහා විදේශ ණය ලබා ගැනීමට අවසර නැති බවද පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හිමියන්ට ඇමරිකානු ඩොලර් 20,000 දක්වා යැවිය හැකි වුව ද, එය දේපළ මිලදී ගැනීම් සඳහා භාවිත කළ නොහැකි බවද එහි වැඩිදුරටත් දැක්වේ.