විමුක්ති එස් රුද්‍රිගු
මෙරට සෑම පවුල් පහකින් පවුල් හතරකට ඩෙක්ස්ටොප් හෝ ලැප්ටොප් පරිගණයක් හිමි නොවන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික පරිගණක සාක්ෂරතා වාර්තාව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ අවුරුදු 5ත් 69ත් අතර වයසේ පසුවන්නන්ගෙන් සියයට 60.8 කට තනිව පරිගණකයක් භාවිත කිරීමට හැකියාවක් නොමැති බවත්, එලෙස තනිව පරිගණයක් භාවිත කිරීමට හැකියාව ඇත්තේ සියයට 39.2කට බවත් එහි දැක්වේ.
මෙරට අවුරුදු 15ත් 69ත් අතර කළමනාකරුවන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ මන්ත්‍රීවරුන්/නීති සම්පාදකයන්ගෙන් සියයට 13.4 කට පරිගණක සාක්ෂරතාව නොමැති බවත්, එසේත් නැතිනම් තනිව පරිගණයක් භාවිත කිරීමට නොහැකි බවත්, එම දත්ත වාර්තාවේ දැක්වේ. එම කාණ්ඩයේ තනිව පරිගණකයක් භාවිත කළ නොහැකි පිරිස 2023 වසරේ සිට ඉහළ ගොස් ඇති බව ද එම වාර්තා පෙන්වා දෙයි.
එසේම එම වයස් කාණ්ඩයේ පසුවන මෙරට වෘත්තිකයන් සියයට 5.7 කටද තනිව පරිගණකයක් භාවිත කිරීමට හැකියාවක් නොමැති බව එම වාර්තාවේ දැක්වේ.
තවද මෙරට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන සිසු සිසුවියන්ගෙන් සියයට 48.3 කට තනිව පරිගණයක් භාවිත කිරීමට හැකියාවක් නොමැති බවත්, තනිව පරිගණකයක් භාවිත කළ හැක්කේ සාමාන්‍ය පෙළ සිසු සිසුවියන්ගෙන් සියයට 51.7කට බවත් එම වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත් එය 2024 වසරට සාපේක්ෂව පරිගණක සාක්ෂරතාවේ සුළු වර්ධනයක් වුවත් 2023 වසරට සාපේක්ෂව සුළු පහළ යාමක් බවත් එහි දැක්වේ.
එසේම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ගෙන් සියයට 21.1 කට තනිව පරිගණකයක් භාවිත කිරීමට නොහැකි බවත්, සියයට 78.9 කට තනිව පරිගණකයක් භාවිත කිරීමට හැකියාව තිබෙන බවත්, එම වාර්තාව පෙන්වා දෙයි. එයද 2024ට සාපේක්ෂව පරිගණක සාක්ෂරතාවේ සුළු වර්ධනයක් වුවත් 2023 වසරට සාපේක්ෂව සුළු පහළ යාමකි.
ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 21.3 කට ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණයක් හිමි බවත්, ඒ අනුව මෙරට පවුල්වලින් සියයට 78.7 කට ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් නොමැති බවත්, එම දත්ත වාර්තාවේ දැක්වේ. කෙසේ නමුත් වතුකරයේ දී එම ප්‍රතිශතය තවත් පහළ යන බවත් වතුකරයේ පවුල්වලින් ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් පරිගණයක් හිමිවන්නේ සියයට 5.2 කට බවත් එම වාර්තාවේ සඳහන් වේ. එසේවුවත් නාගරික පවුල්වලින් සියයට 37.8 කට ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් හිමි බව එම දත්ත වාර්තාවේ දැක්වේ.
එහෙත් ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක්, ජංගම දුරකථනයක්, ටැබ්ලට් එකක් තනිව භාවිත කළ පිරිස එසේත් නැතිනම් ඩිජිටල් සාක්ෂරතාව තිබෙන පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 72ක් බව ද එම වාර්තාව පෙන්වා දෙයි. එහි දී වයස අවුරුදු 5ත් 9ත් අතර පසුවන ළමයින් සියයට 57 කට තනිව පරිගණකයක්, ජංගම දුරකථනයක් හෝ ටැබ්ලට් එකක් භාවිත කිරීමට හැකියාවක් තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.

