ලංකාවේ දෙමළ ජනසංහාරයක් නෑ - කැනඩා අධිකරණයක් තීරණය කරයි


- සංහාරයක් ගැන පාසල් ඉගැන්වීමකටද අවසර නෑ

උපුල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වූ බවට සහ එය ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පාසල්වල විෂයමාලාවට ඇතුළත් කළ යුතුය යන පදනමින් මෑතකදී කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරනු ලැබූ දෙමළ ජන සංහාර අධ්‍යාපන පනත (Tamil Genocide Education Week Act -TGEWA) මගින් ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වූ බවට කැනඩා රජය නීතිමය ප්‍රකාශනයක් කර නැතැයි ද එය අධ්‍යාපන පනතක් නොවන බවට එම ප්‍රාන්ත රජයේ අභියාචනාධිකරණය තීන්දුවක් ලබා දී ඇතැයිද මෙම පනත ගැන දැනුම්වත් කිරීම වෙනුවෙන් ඉකුත්දාක කොළඹ දී සංවිධානය කර තිබූ දේශනයක දී හෙළි විය.

එම පනත ඔන්ටාරියෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය සම්මත කිරීමෙන් පසු කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය නෙවිල් හේවගේ එය පළමුවෙන් ම ඔන්ටාරියෝ ප්‍රාන්ත අධිකරණය හමුවේ අභියෝගයට ලක්කරමින් අධිකරණයෙන් විමසා ඇත්තේ මෙම පනත මගින් ලංකාවේ දෙමළ ජන සංහාරයක් වූ බවට කැනඩා රජය නීතිමය ප්‍රකාශනයක් දී ඇත්ද යන්නය. එහිදී අධිකරණය සිය තීන්දුවෙන් දන්වා ඇත්තේ එවැනි නීතිමය ප්‍රකාශනයක් ලබා දී නොමැති බවත් මෙය අධ්‍යාපනය සම්බන්ධ පනතක් පමණක් බවත් ය.

මෙම මුල් අවස්ථා අධිකරණ තීන්දුව ප්‍රාන්ත රජයේ අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට ඔහු කටයුතු කර ඇති අතර එහිදී අභියාචනාධිකරණය මුල් අවස්ථා අධිකරණය මෙම පනත මගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් නොවූ බවට ලබා දුන් තීන්දුව තහවුරු කර ඇති අතර වැඩිදුරටත් මෙය අධ්‍යාපනය සම්බන්ධ පනතක් නොවන බව ද තහවුරු කර තිබේ. යුද්ධයේ දී මිය ගිය සිය ඥාතීන් සිහිකිරීම වැනි අනුස්මරණ කටයුතු පමණක් කිරීමට මෙම පනතින් ප්‍රතිපාදන සැලසෙන බව ද එහිදී අභියාචනාධිකරණය ප්‍රකාශ කර ඇති බව ද අදාළ දේශනයේ දී අනාවරණය විය.

ආචාර්ය නෙවිල් හේවගේ අභියාචනාධිකරණ තීන්දුව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ද ගෙන ගොස් ඇති බවත් එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ද අභියාචනාධිකරණයේ තීන්දුව තහවුරු කර ඇති බවත් ඒ අනුව මෙම පනත ඔන්ටාරියෝ ප්‍රාන්ත රජයේ බලාත්මක නීතියක් වුවත් එයින් ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වූ බවට නීතිමය ප්‍රකාශනයක් කැනඩා රජය නිකුත් කොට නැති බවත් මෙය අධ්‍යාපනයට සම්බන්ධ පනතක් නොවන බවට කැනඩා අභියාචනාධිකරණය තීන්දුවක් ලබා දී ඇති හෙයින් එය ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පාසල්වල විෂයමාලාවට එකතු කළ නොහැකි බවත් මෙම දේශනයේ දී වැඩිදුරටත් තොරතුරු අනාවරණය විය.
මෙම පනත ඔන්ටාරියෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය වෙත ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට කැනඩාව බලා සංක්‍රමණය වී එහි පුරවැසිභාවය ලැබ දැනට ඔන්ටාරියෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයේ සාමාජිකයකු වන මන්ත්‍රී විජේ තනිගාසලම් නමැත්තා බව ද මෙම දේශනයේ දී ප්‍රකාශ විය.

මෙම දේශනය සංවිධානය කර තිබුණේ කැනඩාවේ ඔන්ටාරියෝ පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන ප්‍රතිපත්ති පර්‌යේෂණ සඳහා වෙන ඔන්ටාරියෝ මධ්‍යස්ථානය (Ontario Centre for Policy Research) නමැති ස්වාධීන පර්‌යේෂණ ආයතනයකි.