රූපලාවන්‍ය නියාමන පනත වසර 8ක් හමස් පෙට්ටියේ


නන්දන ඩී. කෙහෙල්ගමුව

හදිසි පනතක් හැටියට රූපලාවන්‍ය පනතක් සම්මත කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වී දැනට වසර  8  ක් පමණ ගතව ඇතත්, මේ දක්වාම පාර්ලිමේන්තුවෙන් එම පනත සම්මත නොවීමෙන්, දැනටමත් සමාජ ගැටලු රැසක් මතුව ඇතැයි  සෞඛ්‍ය අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

යෝජිත පනත සම්මත කර ගැනීම සඳහා වෛද්‍යවරුන්ගේ පවා මත විමසා මෙයට වසර  8  කට පෙර,  එනම් 2015 වසරේදී පමණ සකස් කළ රූපලාවන්‍ය පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවී, එම පනත මේ වෙන විට ඇත්තේ කොහේදැයි  තමන්වත් නොදන්නා බව, ඊට දායකත්වය දැක්වූ වෛද්‍යවරු ද විමතිය පළ කරති.


එවැනි පනතක් නොමැති කමින්, ඖෂධ නියාමන පනතේ පවතින අඩු පාඩු මතින් රිංගා, මේ වන විට රූපලාවන්‍ය ආයතන පවත්වාගෙන යන ඇතැම් පුද්ගලයින්, මිනිස් සිරුරට අහිතකර අන්දමේ ප්‍රමිතියකින් තොර, රූපලාවන්‍ය ක්‍රීම්, ආලේපන වර්ග ඇතුළු අනවසර ඖෂධ වර්ග නිපදවා ජනතාවට අලෙවි කරන තත්ත්වයක් දක්නට ඇති බවද  වෛද්‍යවරු පෙන්වා දෙති.


මෙම ව්‍යසනයෙන් රටේ ජනතාව මුදාගැනීමට නම් ඉතා ඉක්මන් කටයුත්තක් ලෙස සලකා, යෝජිත රූපලාවන්‍ය පනත, වහාම පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුව ඇති බව වෛද්‍යවරු අවධාරණය කරති.