උපුල් වික්‍රමසිංහ
රුසියාව නිපදවා ඇති පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරයෙන් ඕනෑම රටකට බලශක්තිය ලබාගත හැකි බව ද ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ නම් රජයට ඒ වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කළ හැකි බව ද රුසියාවේ
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච් පසුගිය 01 වැනිදා කොළඹදී පැවසීය.
එය විශාල නෞකාවක් මත ස්ථාපිත කර ඇති න්‍යෂ්ටික බලශක්ති බලාගාරයක් බව පැවසූ ඔහු යම් රටකට එයින් බලශක්තිය අවශ්‍ය වන්නේ නම් අදාළ රටෙහි මුහුදු සීමාව ආසන්නයට පැමිණ බලශක්තිය සැපයිය හැකි බවත් මේ වෙනවිටත් සයිබීරියානු කලාපයේ රටවලට එයින් බලශක්තිය සපයන බවත් ප්‍රකාශ ඔහු කළේ ය.
එයින් බලශක්තිය ලබා ගැනීම ලාභදායී නොවුණත් එම පාවෙන බලශක්ති බලාගාරයේ ඇති තරම් බලශක්තිය ඇති හෙයින් එය ප්‍රයෝජනවත් විකල්පයක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේ ය.
රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පාත්ෆයින්ඩර් ආයතනය විසින් සංවිධානය කරන ලද තානාපතිවරයකු සමග සාකච්ඡාවේ දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු වශයෙනි. එහිදී ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාර ඉදිකිරීමට අදාළව රුසියාව සමග පැවති සාකච්ඡාවල ප්‍රගතිය විමසූ මාධ්‍යවේදියාට ඔහු පැවසුවේ ඒ ගැන යාවත්කාලීන වූ තොරතුරු ලබා දීමට තමා අපොහොසත් බව ය.

