රාජ්‍ය ඖෂධ සංස්ථාව හා වෛද්‍ය සැපයුම් ඒකකයේ වැඩ ගැන විමර්ශනයක් ඕනෑ
- වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය ඉල්ලයි
නිරෝෂාන් ප්‍රේමරත්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඖෂධ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග වශයෙන් ලබාදෙන ලද කෝටි ගණනක මුදලක් රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ වෛද්‍ය සැපයුම් ඒකකය මගින් අයථා ලෙස පරිහරණය කර ඇතැයි නවතම විගණන වාර්තාවක් හෙළි කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙත IV Merapenum ඖෂධය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් 2022-2023 කාලසීමාවේදී ලබාදෙන ලද ඩොලර් 2,500,000ක් සහ පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ අයිතම හතළිස් දෙකක් මිලදී ගැනීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාදෙන ලද රුපියල් 100,000,000 ක් වටිනා පරිත්‍යාග මුදල් තිබියදී රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් එම ඖෂධ සැපයීම වෙනුවෙන් වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ද එලෙස මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති බව ජාතික විගණන කාර්යාලයේ නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් හෙළි වී තිබේ.
IV Merapenum 1g සහ 500 පට මිලදී ගැනීම වෙනුවෙන් මේ අන්දමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් පරිත්‍යාග කොට තිබිණ. කෙසේ වුවත් රිජ්වේ ළමා රෝහල සහ කාසල් රෝහලේ ඖෂධ මිලදී ගැනීම සඳහා පසුව වෛද්‍ය සැපයුම් ඒකකය මගින් එම මුදල් යළි අයකර ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. මීට අමතරව තවත් තෝරා ගන්නා ලද ඖෂධ 19ක් සඳහා ද මේ අන්දමටම ප්‍රසම්පාදන කටයුතු සිදුකොට ඉන් දාහතක් මිලදී ගැනීම වෙනුවෙන් වෛද්‍ය සැපයුම් ඒකකය යළි රාජ්‍ය ඖෂධ සංස්ථාවට මුදල් පියවා ඇත.
එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඉහත කාල සීමාවේදී ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල සඳහා රුපියල් මිලියන සීයක මුදලක් රාජ්‍ය ඖෂධ සංස්ථාව වෙත ලබා දී තිබූ අතර පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ අයිතම හතළිස් දෙකක් වෙනුවෙන් මෙම මුදල් වෙන් කර තිබුණද එයින් තෝරා ගත් ඖෂධ වර්ග 15 ක් සඳහා පමණක් මිල ගණන් කැඳවා තිබූ බව විගණනය පෙන්වා දෙයි.
රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිලධාරීන් හිතා මතා හෝ නොසැලකිලිමත් ලෙස කටයුතු කර රුපියල් මිලියන 943.83ක මුදල් අවභාවිතයක් සඳහා පහසුකම් සපයා ඇති බව විගණනයේදී නිරීක්ෂණය වූ බවද එම විගණන වාර්තාව පෙන්වා දෙයි.
රජයේ අරමුදල් විගණනය විසින් අනාවරණය කරන තෙක් වර්ෂ දෙකකට අධික කාලයක් තිස්සේ නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් අනවශ්‍ය ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එම මුදල රඳවා තබා ගැනීමට කටයුතු කර ඇති හෙයින් එහි අහිතකර බලපෑම මිනිය නොහැකි බව විගණනය පෙන්වා දී ඇත. මේ සම්බන්ධවද පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.
මෙම ප්‍රශ්න සහගත ගනුදෙනු සිදුවෙන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, වෛද්‍ය සැපයුම් ඒකකය හා සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි සේවය කළ අදාළ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.