උපුල් වික්‍රමසිංහ
කර්මාන්තපුර සංවර්ධනය යටතේ රජයේ ඉඩම් අක්කර 281.399 ක ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන ලද කර්මාන්තපුර 9 ක් සඳහා රජය විසින් රුපියල් මිලියන 1542 ක පිරිවැයක් දරනු ලැබ ඇතත් ඒවායෙහි කිසිදු කර්මාන්තයක් ආරම්භ කර නොතිබුණු බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2024 වාර්ෂික වාර්තාවට අදාළව විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ වාර්තාවෙහි දැක්වේ.
එසේම දිස්ත්‍රික්ක 21 ක කර්මාන්තපුර ආරම්භ කිරීමේ දී වෙන් කරන ලද මුළු ඉඩම් ප්‍රමාණය අක්කර 1,340 ක් වුවත් කර්මාන්ත සඳහා එයින් අක්කර 741.50 ක් පමණක් වෙන්කර තිබූ බව ද අක්කර 598.50 ක ඉඩම් සමාලෝචිත වර්ෂය අවසන් වෙනවිට නිෂ්කාර්යව පැවති බව ද එකී වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් ය.
මේ අතර අක්කර 200 ක භූමි ප්‍රමාණයක රයිගම් කර්මාන්තපුරය පිහිටුවීමට අපේක්ෂා කර තිබුණ ද 2024 අවසන් වෙන විට කිසිදු ආයෝජකයකු කර්මාන්ත ආරම්භ කිරීමට ඉදිරිපත් නොවීම නිසා එම කර්මාන්තපුරය ආරම්භ කිරීමට නොහැකි වී ඇතැයි ද ඒ සඳහා දරන ලද රුපියල් මිලියන 905 ක මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇතැයි ද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ වාර්තාවේ දැක්වේ.