ඉන්දික හේවාවිතාරණ
රාජ්‍ය රියැදුරු සේවයේ පුරප්පාඩු 3000කට අධික ප්‍රමාණයක් ඇති වී තිබියදීත් 2016 වසරින් පසු පුරප්පාඩු ගණනය කර විධිමත් ලෙස බඳවා ගැනීමක් සිදුකර නොමැති බව ඒකාබද්ධ රියැදුරු සේවක සංගමය සඳහන් කරයි.
රියැදුරන් නොමැති වීමෙන් ඇතැම් ආයතනවල වාහන ධාවනය නොකර තබා ගැනීමට පවා සිදුව තිබෙන නිසා පවතින පුරප්පාඩු ගණනය කර විධිමත් ලෙස බඳවා ගැනීමක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සඳහන් කළේය.
බොහෝ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල රියැදුරෙකු දිනකට පැය 09 ක් සේවය කළ යුතු වුවත් අනෙකුත් රජ්‍ය සේවකයන් සේවය කරනු ලබන්නේ දිනකට පැය 08 ක් බවද ඔහු පැවසීය.
අතිකාල ගෙවීම කරන ආයතනයක සේවය කරන රියැදුරෙකුට අතිකාල ගණනය කිරීම් කරනු ලබන්නේ පැය 09 කාලයක් සේවය කිරීමෙන් පසුව වුවත් අනෙකුත් රාජ්‍ය සේවකයන්ට පැය 08 ක් සේවය කිරීමෙන් පසු අතිකාල ගණනය කිරීම කරන බවද හෙතෙම සඳහන් කළේය.
රාජ්‍ය අංශයේ රියැදුරු සේවයට බඳවා ගැනීමට අමතරව රියැදුරන්ට පැය 08 ක වැඩ දිනයක් ලබාදීමට අදාළ සංශෝධන සිදුවිය යුතු බවද සංගමයේ සභාපතිවරයා පවසා සිටියේය.
පුරප්පාඩුවලට බඳවා ගැනීම් ප්‍රමාද කළ හොත් රියැදුරු සේවාව බරපතළ අර්බුදයකට ලක්වෙන නිසා රජය මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ද ඔහු පැවසීය.
පසුගිය කාලයේ දී පුරප්පාඩු ගණනය කිරීමක් සිදුනොකර යම් යම් අවස්ථාවල රියැදුරන් සුළු පිරිසක් බඳවා ගැනීමට කටයුතු කිරීම නිසා රාජ්‍ය රියැදුරු සේවාව මෙම තත්ත්වයට පත් වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.