රාජ්‍ය ආයතනවල වංචා, දූෂණ නිසා සිදුවන පාඩුව අය කර ගැනීමට අධිභාරයක්


ඉන්දික හේවාවිතාරණ

රාජ්‍ය ආයතන, සංස්ථා සහ මණ්ඩලවල දූෂණයක්, වංචාවක් සිදුවූ පසු අදාළ පාඩුව අධිභාරයක් ලෙස අයකර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බව ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවා සංගමය සඳහන් කරයි.

පළාත්පාලන ආයතනවල හා විශ්වවිද්‍යාලවල වංචාවක්, දූෂණයක්  සිදුවූ පසු අධිභාර අයකර ගැනීම් සිදුවන බවත් මෙම ක්‍රමය අනෙකුත් රාජ්‍ය ආයතනවලද ක්‍රියාත්මක කළ හැකි නීති පවතින බවත් එම සංගමයේ සභාපති එච්.එම්.කේ. හේරත් සඳහන් කළේය. 

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ ප්‍රතිපාදන අනුව රාජ්‍ය ආයතන, සංස්ථා හා මණ්ඩලවල සිදුවන අලාභයන්හිදී අදාළ මුදල හා තවත් සියයට විසිපහක මුදලක් අධිභාරයක් ලෙස අයකරගත හැකි බවද ඔහු පැවසීය.

ජාතික විගණන පනතේ 19 වැනි වගන්තිය ප්‍රකාර යම් ගනුදෙනුවක්  ලිඛිත නීතියකට පටහැණිව සිදුකර ඇති බවත් එම ගනුදෙනුව මඟින් ඊට සම්බන්ධ තැනැත්තන්ගේ වංචාවක්, නොසැලකිල්ලක්, සාවද්‍ය පරිහරණයක් හෝ දූෂණයක් හේතුකොට ගෙන යම් ඌනතාවක් හෝ පාඩුවක් සිදු වී ඇති බවට විශ්වාස කිරීමටත් හේතු තිබෙනවා නම් අධිභාර අයකරගත හැකි බව හෙතෙම සඳහන් කළේය.