රතන හිමි රාජිත, ලංසා රිමාන්ඩ්


රෝෂන් තුෂාර

අත්අඩංගුවට ‍ ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න ලබන 09 වැනිදා දක්වාත්, හිටපු රාජ්‍ය ඇමති නිමල් ලංසා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි යන සැකකරුවන් ලබන 12 වැනිදා දක්වාත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) නියෝග කළේය.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට (රුපියල් ලක්ෂ 262ක්) අධික පාඩුවක් කළේ යැයි අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළව වරෙන්තු ලබා සිටියදී කොළඹ මහාධිකරණයේ  නියෝගය පරිදි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රාජිත සේනාරත්න,  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.

සැකකරුවෙකු වන හිටපු ඇමති රාජිත සේනාරත්නට නීතිමය අයිතිවාසිකම් ඇති බවට හබයකින් තොරව පිළිගත්ත ද, අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනවලට ස්වේච්ඡාවෙන් සහාය ලබා දේ යැයි විශ්වාස කිරීමට නොහැකි බවට සිය ක්‍රියා කලාපයෙන් සනාථ කර ඇති හෙයින්   ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේය .

රාජිත සේනාරත්න, සැකකරු ඇප මත මුදා හරින්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ලබන 03 වැනි දින උදැසන නවයට අල්ලස් කොමිසමට රැගෙන යන ලෙසට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් ද නිකුත් කළේය.

මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ සැකකරුට ඇප ලබා දුනහොත් අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනවලට සහාය දක්වා සිටින බවට කිසිදු විශ්වාසයක් තැබිමට අධිකරණයට නොහැකි බවය.

සැකකරුගේ ප්‍රකාශයක් ලබා ගැනීමට හෝ අධිකරණයට ගෙන්වා ගැනීමට අල්ලස් කොමිසම මහත් වෙහෙසක් දරා ඇති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රකාරව හා අල්ලස් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව අල්ලස් කොමිසම අධිකරණය ඉදිරියේ සිතාසි ලබා ගැනීමේ සිට සියලුම නීතිමය ක්‍රියාදාමයන් අනුගමනය කර ඇති බව පෙන්වා දුන්නේය.

”අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයන්ට අදාළව අපේක්ෂිත ඇපයක් ලබා දෙන්නැයි සැකකරු විසින් ඇප අයැදුම්පත්‍රයක් ගොනුකර තිබෙනවා. එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව ප්‍රතිශෝධන අයැදුම්පත්‍රයක් මහාධිකරණය හමුවේ ගොනුකර ඇත. එම ප්‍රතිශෝධන අයැදුම් පත්‍රය සඳහා මහාධිකරණය මගින් නොතීසියක් හැර කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බවට දෙපාර්ශ්වය කරුණු ඉදිරිපත් කර ඇත. ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් පසුව සැකකරු අධිකරණය ඉදිරියට පැමිණීමට හෝ ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කර නොමැති බව පෙනී යයි. සැකකරුවෙකුට නෛතික අයිතිවාසිකම් තිබෙන බවට හබ කිරීමකින් තොරව පිළිගත යුතුයි. සැකකරු අධිකරණයට ගෙන්වා ගැනීමට අල්ලස් කොමිසම මගින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ සියලු‍ ක්‍රියාදාමයන් අනුගමනය කොට ඇති බව පෙනීයයි. ඒ අනුව සැකකරු ස්වේච්ඡාවෙන් අල්ලස් කොමිසමේ විමර්ශනයන්ට සහාය දක්වා සිටින පුද්ගලයෙකු බව පෙනී යන්නේ නැහැ. සැකකරුට ඇප ලබා දුන්නත් ඔහුගේ ක්‍රියා කලාපය අනුව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකියි.ඒ අනුව සැකකරුගේ  ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ලබන දොළහ දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනවා” මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

මේ අතර අල්ලස් කොමිසම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ  වැලිකැනීමේ ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනයක් සඳහා රාජිත සේනාරත්න සැකකරු ඇතුළු  පවුලේ හිතවතුන් පිරිසක් කොරියාව බලා සංචාරයක් කිරීමක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවය.ඊට අදාළව සැකකරුගෙන්  ප්‍රකාශ සටහන් කර ගත යුතු බැවින් ලබන 03 දින අල්ලස් කොමිසමට සැකකරු ඉදිරිපත් කරන්නැයි බන්ධනාගාර අධිකාරියට නියෝග කරන ලෙසද ඉල්ලා සිටියේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි අධිකරණයෙහි පෙනී සිටීමෙන් අනතුරුව ලබන 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට   නුගේගොඩ මහේස්ත්‍රාත්  රුවන්දිකා මාරසිංහ  නියෝග කළාය.

කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව රතන හිමියන්​ෙග පසුගිය 18 දින අත්අඩංගුවට   ගැන    අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා වරෙන්තු නියෝගයක් නිකුත් කර තිබිණි.

අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් උන්වහන්සේ බිය ගන්වා  එම පක්ෂයට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විමර්ශන සිදු කළ අතර දුරකථනයද විසන්ධිකර සැඟව සිටිනවා යැයි කියන රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

2020 වසරේදී සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුව‍ට ගෙන ඇති බවද

පළමු සැකකරු  පසුගිය ජූලි 20 වැනි දින අත්අඩංගුවට ගත් බවද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

කොච්චිකඩේ පොලිසියට භාර අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මීගමුව මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ නියෝග කළේ ය.

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදීමෙන් අනතුරුව මෙසේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. සැකකරු සම්බන්ධයෙන් ගිනි අවි ආඥා පනත ප්‍රකාරව විමර්ශනයක් සිදු කරන බවට පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදි.