රට වටා නොගැඹුරු මුහුදේ පොඩි මාළු ගහනය අඩු වෙලා


ඉන්දික හේවාවිතාරණ

දිවයින වටා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල කුඩා මත්ස්‍ය ගහනය විශාල ලෙස අඩුවෙමින් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය සඳහන් කරයි.

යක් සාලයා මේ වන විට ඇතැම් මුහුදු ප්‍රදේශවල නොමැති බවත්  කරට්ටයා, හුරුල්ලා සහ සාලයා යන මත්ස්‍ය ගහනයද සැලකිය යුතු ලෙස අඩු වී තිබෙන බවත් එම සංගමයේ සභාපති අරුණ රොෂාන්ත පැවසීය. 

ඉස්සන් අභිජනනය කිරීමේ කොටුවලට ලබාගන්නා මුහුදු ජලය පරික්ෂා කිරීම සිදුකරන බවද මීගමුව ප්‍රදේශයේ කොටුවකට ලබාගත් මුහුදු ජලයේ ජල සම්පලයක් පරීක්ෂා කිරීමේදී එම ජලයේ සමබරතාව නොමැති බවට පසුගිය දා හෙළි වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

වෙරළේ සිට කිලෝමීටර් 10-20 අතර ප්‍රදේශවල සිටින කුඩා මත්ස්‍ය ගහනය අඩු වී තිබෙන අතර මේ පිළිබඳව බලධාරීන් අවධානය යොමු කර අවශ්‍ය සොයා බැලීම් සිදුකළ යුතු බවද හෙතෙම පැවසීය.

එක්දින යාත්‍රා යටතේ ධීවර කටයුතු සිදුකරන ධීවරයන්ගෙන් අතිබහුතරයක් ධීවර කටයුතු සිදුකරනු ලබන්නේ වෙරළේ සිට කිලෝමීටර් 10 - 20 අතර මුහුදු සීමාවන්හි බවත් මත්ස්‍ය ගහණය අඩු වීම නිසා ධීවර රැකියා කරන පිරිස් දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් ධීවර සංගම් සභාපතිවරයා සඳහන් කළේය.

මත්ස්‍ය ගහනය අඩුවීමට හේතු වී තිබෙන්නේ මත්ස්‍යයන් බෝවන ස්ථාන විනාශවීමද එසේ නොමැති නම් පසුගිය කාලයේදී මෙරට මුහුදු සීමාවෙහිදී අනතුරට පත් නැවේ අපද්‍රව්‍ය ද එසේ නොමැති නම් වෙනත් හේතුවක්ද යන්න පරීක්ෂා කර බැලිය යුතු බවද ඔහු සඳහන් කළේය.

නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ධීවර රැකියාවල නිරත වන නිසා අදාළ මුහුදු ප්‍රදේශ සුරක්ෂිත කර ගැනීම ඉතාමත් වැදගත් වෙන බවද හෙතෙම පැවසීය.