රට පුරා අහසින් යන්න අවස්ථාව


චාමර සම්පත්

රටේ පිහිටි සියලු ගුවන්තොටුපොළවල් වෙත අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඒ අනුව අභ්‍යන්තර ගුවන්සේවා පවත්වාගෙන යන්නන්  සඳහා සහන ලබාදීම වෙනුවෙන් ඊට අදාළ ගුවන් ප්‍රවාහන පනත සංශෝධනය කිරීම පසුගිය සිකුරාදා (07දා) පාර්ලිමේන්තුවේදී සිදුවිය.


එහිදී අදහස් දක්වමින් නිමල් සිරිපාල ද අමාත්‍යවරයා පැවසුයේ  කටුනායක, මඩකලපුව,  ත්‍රිකුණාමලය,  යාපනය, මත්තල, රත්මලාන ඇතුළු ගුවන්තොටුපොළවල් සියල්ල සඳහාම අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන බවය.  සිනමන් එයාර් සහ ෆිස්ට් එයාර් ගුවන් සමාගම් දෙක මේ වනවිටත් රත්මලාන - යාපනය ගුවන් ගමන් ආරම්භකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 


විශේෂයෙන්ම සංචාරකයන්ට, ව්‍යාපාරිකයන්ට, ආයෝජකයන්ට මෙය ඉතාම පහසුවක් වනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 


පලාලි ගුවන්තොටුපළේ ධාවන පථය දීර්ඝ කිරීමට මේ වනවිට සැලසුම් කරගෙන යන බවත් ලබන මාසයේ සිට පලාලි ගුවන් තොටුපළ සඳහා දිනපතා ගුවන් යානා පැමිණීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් අමාත්‍යවරයා කීවේය.


විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් සේවා ගණන සහ ගුවන් ගමන් වාර ගණනද මේ වනවිට වැඩිවී ඇති බවත් පසුගිය මැයි මාසයේදී ජනතාව 279,509 ක් මෙරටට පැමිණ ඇති අතර, 310,249 ලංකාවෙන් පිටතට ගොස් ඇති ඇති බවද මගීන් සංසරණයේ වැඩිවීමක් පෙන්නුම්කරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසීය.