රජයේ මුද්‍රණාලයට කෝටි 20 ක පොල්ලක්


සේවකයන්ට ගෙවිය යුතු කෝටි තුනකුත් තවම නෑ

සුජිත් හේවාජුලිගේ

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය සඳහා වැය කෙරුණු රුපියල් කෝටි 20කට වැඩි මුදලක් මැතිවරණ කොමිෂන් සභාවෙන්  රජයේ මුද්‍රණාලයට මෙතෙක් නොලැබීම නිසා මුද්‍රණාලය දැඩි ආර්ථික ගැටලු‍වකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කොමිෂන්  සභාවට සිහි කැඳවීම් ගණනාවක්ම කර ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය ඉරිදා ලංකාදීපයට පැවැසුවාය.
මේ තත්ත්වය නිසා වර්ෂය පුරා සෙසු වැඩ කටයුතු සඳහා මුදල් සොයා ගැනීම බරපතළ ගැටලු‍වක් වන බවද ඇය සඳහන් කළාය.


පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික්ක රැසක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය දැනටමත් අවසන් වී එම පත්‍රිකා සියල්ල මුද්‍රණාලයේ ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර පවතී. යම් විදිහකින් හෝ පළාත් පාලන මැතිවරණය අවලංගු කෙරුණොත් එම ඡන්ද පත්‍රිකා සියල්ල විනාශ කිරීමට සිදුවනු ඇත.


මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් ලියකියවිලි මුද්‍රණයට දායක වූ සේවකයන්ට ගෙවිය යුතු දීමනාවලට අදාළ රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් මහා භාණ්ඩාගාරයෙන් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ.