රජයේ ඉහළ පෙළේ නිලධාරිනියක් අද හෙටම දොට්ට


සුජිත් හේවාජුලිගේ

විවිධ චෝදනා එල්ලවී ඇති රජයේ ඉහළ පෙළේ නිලධාරිනියක් එම තනතුරින් නුදුරේදීම ඉවත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තාවේ. ඒ සඳහා විශේෂ යෝජනාවක් අනුමත කර ගැනීමට ද රජයේ අවධානය යොමුව ඇත.

එම නිලධාරිනිය මෙසේ ඉවත් කිරීමට සූදානම් වන්නේ රජයේ කටයුතු සඳහා දිගින් දිගටම සහාය නොදීම සහ ඇතැම් අවස්ථාවල දී කඩාකප්පල් කිරීම, පරිපාලනමය දුර්වලතා, විවිධ අක්‍රමිකතා චෝදනා සහ රජයේ යම් යම් තොරතුරු විපක්ෂය ඇතුළු වෙනත් බාහිර පාර්ශ්වවලට ලබාදීම යනාදී කරුණු පදනම් කරගෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ඇමතිවරයකු පැවසුවේ ඇයගේ පත්වීම සම්බන්ධයෙන් ද යම් යම් පාර්ශ්වවලින් කාලයක සිට බරපතළ චෝදනා එල්ලවී තිබූ බවයි.

මේ අතර නිලධාරිනිය රජයේ කටයුතු සඳහා සහාය නොදෙන්නේ නම් ඇය එම තනතුරින් ඉවත් කර වෙනත් නිලධාරියකු පත් කළ යුතු බවත් ඒ සඳහා සහාය දීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රජයට කරුණු පෙන්වා දී ඇත.

ඇයගේ දුර්වල පරිපාලනය හේතුවෙන් ආයතනය කඩා වැටීමට ඉඩ දිය නොහැකි බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.