මුදල් ලේකම් පුටුවට හර්ෂණ මන්ත්‍රී ධුරයෙන් අස්වෙයි


සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඔහු එම තනතුර භාර ගැනීමට සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට භාරදී ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබවූ මහින්ද සිරිවර්ධන පසුගියදා විශ්‍රාම ලැබූ අතර ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ධුරයක වැඩ භාර ගැනීම සඳහා පිටත්ව යෑමට නියමිතය.

සූරියප්පෙරුම මහතා කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ වරලත් ආයතනයේ (CIMA) සාමාජිකයෙකු ලෙස සුදුසුකම් ලබා කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් එම්බීඒ උපාධිය සහ කළමනාකරණ සහ විද්‍යා විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර ජාලකරණය සහ කාර්ය සාධනය පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකර ගත්තේය.

පෞද්ගලික අංශයේ මූල්‍ය හා පරිපාලනයට අදාළ ආයතන රැසක සේවය කර ඇති ඔහු 2013 සිට 2021 දක්වා ශ්‍රී ලංකා සුරුකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ආයතනික කටයුතු අධ්‍යක්ෂ ලෙසද කටයුතු කළේය.

හෙතෙම 2022 සිට ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයෙක්ද විය. ඔහු 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට හර්ෂණ සූරියප්පෙරුම දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරූවද එය ව්‍යාර්ථ විය.