මුදල් අමාත්‍යාංශයයි මහ බැංකුවයි හැකරු සිද්ධියට කඹ ඇදිල්ලක


සුජිත් හේවාජුලිගේ

ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක ණය වාරිකයක් වංචනිකයන් පිරිසකගේ ගිණුමකට බැරවීමේ සිද්ධියේ වගකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමෙන් අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇතැයි වාර්තාවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ වාර්තාවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට චෝදනා කර ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. මේ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් සතියක් ඇතුළත භාරදෙන ලෙස මුදල් කාරක සභාව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ නියෝග කෙරිණ.

එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට (15) සඳුදා භාරදීමට නියමිතය. ඉන් අනතුරුව එම වාර්තාවත් මුදල් අමාත්‍යාංශයේ වාර්තාවත් යන දෙකම අධ්‍යයනය කිරීමෙන් පසු මුදල් කාරක සභාව විසින් සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

හැකරු සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් මුදල් අමාත්‍යාංශය විසින් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා භාර දෙනු ලැබීය. එම වාර්තාව මුදල් කාරක සභාව විසින් පසුගිය 08 වැනිදා විමර්ශනය කරන ලද අතර ඒ අවස්ථාවට ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහ භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද කැඳවනු ලැබ සිටියහ.

මේ අතර මෙවැනි සිද්ධි වැළැක්වීම සඳහා වහා ක්‍රියාමාර්ග ගතයුතු බවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට දැනටමත් නියෝග කර ඇත.