උපුල් වික්‍රමසිංහ
මැදපෙරදිග කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරට සිටින ඔවුන්ගේ නෑ හිතවතුන් වෙනුවෙන් එවීමට මිලදී ගත් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ කන්ටේනර් 50 කට ආසන්න ප්‍රමාණයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි අගනුවර පිහිටි ජබෙල් අලි වරායේ සිරවී තිබෙන බව වාර්තා වේ.
ඇමෙරිකා - ඉරාන යුද්ධය හේතුවෙන් පසුගිය පෙබරවාරි 28 වැනි දින සිට නෞකා ගමනාගමනය අඩාළවීම මේ තත්ත්වයට හේතු වී ඇති අතර සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින අයගේ භාණ්ඩ ද එම වරායේ මේ වෙනවිට සිර වී තිබෙන බව කුවේට් ශ්‍රී ලාංකික එකමුතුව කියයි.
එහි සභාපති ගාමිණී විජයරත්න ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ ජබෙල් අලි වරායේ සිර වී තිබෙන එම කන්ටේනර් සෞදි අරාබියේ ඩමාම් වරාය හරහා ශ්‍රී ලංකාවට එවීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා භාණ්ඩ හිමියන්ට අතිරේක නැව් ගාස්තු ගෙවීමට සිදුවෙන බවත් ය.
මාස එකහමාරක කාලයක් තිස්සේ වරායේ සිර වී තිබෙන හෙයින් ඒවායෙහි ඇතුළත් ඇතැම් ආහාර ද්‍රව්‍ය කල්ඉකුත් වී තිබෙන්නට හැකි යැයි ද ඔහු කීවේ ය.
මෙම භාණ්ඩ කන්ටේනර් ලංකාවට පැමිණි පසු රජයේ ගාස්තු අය නොකර ඒවා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රේගුවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේ ය.

