මැතිසබා නියෝජ්‍ය ලේකම්ගේ වැඩ තහනම කථානායකට එරෙහි පෙත්සම විමසුම මාර්තු 3


සුජිත් හේවාජුලිගේ

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී, නීතිඥ චමින්ද කුලරත්න අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ “රිට්” පෙත්සමේ පළමු විමසුම ලබන මස 3 වැනිදා අභියාචනාධිකරණයේ දී පැවැත්වීමට නියමිතය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරු මෙම පෙත්සම සලකා බලති.

පරිපාලන නීතියේ හා ස්වාභාවික යුක්තියේ මූලධර්මයන්ට පටහැණි ආකාරයෙන් අනීතික ලෙස තමාගේ වැඩතහනමට ලක් කරන ලද බව සඳහන් කරමින් චමින්ද කුලරත්න එම පෙත්සම ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ බලය තමා වෙත පවරාගෙන කථානායකවරයා විසින් පත්කරන ලද විමර්ශන නිලධාරියාගේ පත්වීම හා එකී විමර්ශන නිලධාරියා විසින් කථානායකවරයාගේ පෞද්ගලික අවශ්‍යතාව මත ඉදිරිපත් කර ඇති සාවද්‍ය වාර්තාව බලරහිත කරන ලෙසත්, ඒ අනුව නීතිවිරෝධී ආකාරයෙන් සිදුකරන ලද තම වැඩතහනම ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් හෙතෙම  අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතීඥ මණ්ඩලයක් කුලරත්න මහතා වෙනුවෙන් පෙනී සිටී.

මීට අමතරව, වැඩතහනමට ලක්කරන ලද නියෝජ්‍ය මහ ලේකම්වරයා 2026 පෙබරවාරි 02 වන දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න හා ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන අයට එරෙහිව දූෂණ ක්‍රියා 08ක් සම්බන්ධයෙන් පිටු 07කින් යුත් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

එසේම, ඔහු අල්ලස් කොමිසම හමුවේ කළ පැමිණිල්ලෙන් අනතුරුව කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ එකී පැමිණිල්ලට අදාළ කරුණු පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියගෙන් ඉල්ලා ඇති අතර, එසේ ඉල්ලා සිටීමෙන් අල්ලස් කොමිසමේ විමර්ශනයට බාධා හා බලපෑම් සිදුවන බැවින් ගාල්ලගේ මහතාට විරුද්ධව පියවර ගන්නා ලෙස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් කර තිබේ.