මැතිසබා කමිටු 17 කට තරුණයෝ 535 ක්


අරගලයට ගිය පිරිසකුත් ඒ අතර

සුජිත් හේවාජුලිගේ

අලුතින් පිහිටවනු ලැබූ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවල කටයුතුවලට සහාය වීමට වයස 18 – 35 අතර තරුණයන් 535 දෙනෙකු සම්බන්ධ කර ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අයදුම්පත් කැඳවීමෙන් පසු ඉදිරිපත් කෙරුණු අයදුම්පත් 600 කින් පමණ මෙම තරුණ පිරිස තෝරාගත් බව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසීය.


මෙම පිරිස අතර අරගලයට සම්බන්ධ වූ අය ද සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


මේ තරුණයන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.


විවිධ විෂයයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා 17 ක් මෑතක දී පිහිටවනු ලැබීය. මෙම කාරක සභා රැස්වන අවස්ථාවේ දී එම තරුණයන්ගෙන් පස් දෙනා බැගින් ඒවාට වරින් වර සහභාගි කරවා ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීහු බලාපොරොත්තු වෙති.


ආංශික අධික්ෂණ කාරක සභා සඳහා තරුණයන් මෙලෙස සම්බන්ධ කර ගැනීමට කටයුතු කෙරෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුවය. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පාර්ලිමේන්තුවේ කමිටුවලට මන්ත්‍රීවරුන් නොවන පිටස්තර තරුණ පිරිසක් සම්බන්ධ කරගන්නා පළමු අවස්ථාව මෙය වෙයි.
කමිටු රැස්වීම්වලට සහභාගි වන අවස්ථාවේ දී එම තරුණයන්ට කමිටුවට ඉදිරිපත් කෙරෙන ලේඛන පරීක්ෂා කිරීමට මෙන්ම එම කමිටුවලට පැමිණෙන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට ද අවස්ථාව සැලසෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.