මැතිසබයේ වෙනසට කෝටි භාගයක බර පැනක්


සුජිත් හේවාජුලිගේ

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත් කෙරුණු කමිටු දෙකකට රුපියල් ලක්ෂ පනස්තුනකට ආසන්න මුදලක් (5,283,749) වැය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට මුලින්ම පත් කෙරුණේ පාර්ලිමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ලක්ෂ්මන් ජයසිංහගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවයි. 

එම කමිටුවේ වියදම් ලෙස රුපියල් විසි ලක්ෂ විසි එක් දහස් දෙසිය හැත්තෑ දෙකක් වැය කර ඇත. ඊට මාසික දීමනා 883,064 ක මුදලක් ද ප්‍රවාහන දීමනා වශයෙන් රුපියල් 588,709ක මුදලක් ද ඉන්ධන දීමනා වශයෙන් රුපියල් 549,497ක මුදලක් ද ඇතුළත් වෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කමිටුව පසුගිය වසරේ ජනවාරි මස 8 වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කටයුතු කර ඇත.

ඊට පසු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරින් තිදෙනකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුව ක්‍රියාත්මක වූ මේ වසරේ මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයේදී එම තිදෙනා වෙනුවෙන් රුපියල් තිස් දෙලක්ෂ හැට දෙදහස් හාරසිය හැත්තෑ හතක මුදලක් වැය කර ඇත. 

ඊට මාසික දීමනා වශයෙන් රුපියල් 2,285,517ක මුදලක් ද  ප්‍රවාහන දීමනා වශයෙන් රුපියල් 566,129ක මුදලක් ද ඉන්ධන දීමනා වශයෙන් රුපියල් 410,830ක මුදලක් ද වැය කර ඇත.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පත්කෙරුණු දෙවැනි කමිටුවේ වාර්තාව කථානායකවරයාට පසුගියදා භාර දෙනු ලැබීය. 

කෙසේවෙතත් මෙම වාර්තාවට පාර්ලිමේන්තු සේවකයෝ බහුතරයක් විරෝධය පළ කර සිටිති. එසේම දෙපාර්තමේන්තු ප්‍රධානීන් බහුතරයක් ද කමිටු වාර්තාවට විරැද්ධව අභියාචනා ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.

තවද මෙම වාර්තාවෙන් පාර්ලිමේන්තු සේවකයන් බහුතරයකට සහන සැලසී නැතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්හ. 

එහිදී එම ප්‍රකාශවලට පිළිතුරු දුන් සභානායක බිමල් රත්නායක පැවසුවේ, මෙය පරිපාලන සේවයේ ප්‍රවීණයන් තිදෙනකු විසින් විධිමත් ආකාරයට සකස් කරනු ලැබූ  වාර්තාවක් බවයි. කෙසේවෙතත් මෙය අවසන් වාර්තාව නොවෙන බව ද ඔහු සඳහන් කළේය.