මැතිවරණයකට පෙර ඡන්දය දෙන්න අවස්ථාවක්


චාමර සම්පත්

මැතිවරණ දිනයේදී ඡන්දය ලබාදීමට අවස්ථාව නොලැබෙන පුද්ගලයින්ට පූර්ව ඡන්ද වීමසීමේ  (Advance Voting) අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව ඕනෑම වේලාවක සූදානම් බව එහි කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා “ඉරිදා ලංකාදීප”යට පැවසීය.

පූර්ව ඡන්ද විමසීම මෙන්ම ජංගම මැතිවරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට ද එහිදී අවධානය යොමුව ඇති බවද මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට කොවිඩ් සමයේදී ක්‍රියාත්මක වීමෙන් පූර්ව අත්දැකීම් තිබෙන බවද රත්නායක මහතා ප්‍රකාශ කළේය.


රටේ ආර්ථික ක්‍රියාවලියට දායක වන පුද්ගලයින් ඇතුළු මැතිවරණය පවත්වන දිනයේදී අනිවාර්ය රාජකාරිවල යෙදෙන  පුද්ගලයින්, ක්‍රීඩකයින්, රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන්, ආබාධිත ප්‍රජාව, වැඩිහිටි ප්‍රජාව ආදී ක්ෂේත්‍ර කිහිපයක් ඒ වෙනුවෙන් හඳුනාගෙන ඇති බවද රත්නායක මහතා කීවේය. මේ වෙනුවෙන් වන නීති සංශෝධනය වූ සැනින් එය සිදුකළ හැකි බවද, නීති සංශෝධය පාර්ලිමේන්තුව මගින් සිදුකළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.


“පූර්ව ඡන්ද විමසීම් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ අවධානය යොමුවෙලා තිබෙනවා. මුලින්ම මෙහි නීතිය සකස්විය යුතුයි. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට මෙම යෝජනාව යොමුකර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව ඕනෑම අවස්ථාවක පූර්ව ඡන්ද විමසීමක් කරන්න සූදානම්. මැතිවරණයට කලින් දිනයකදී එම ඡන්දය ලබාගත යුතුයි. අපි දැනට එලෙස කරන්නේ තැපැල් ඡන්දය ලබාගැනීමට පමණයි. නමුත් එය සිදුකරන්නේ මැතිවරණ රාජකාරි සඳහා යොදාගන්නා නිලධාරීන් සඳහා පමණයි. අපි එතනින් එහාට ගිහින් රටේ ආර්ථික ක්‍රියාවලියට දායක වෙන පිරිස සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙලෙස පූර්ව ඡන්ද විමසීමක් පැවැත්වීමට සූදානමින් ඉන්නවා.’’  යැයි රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.