ඉන්දික හේවාවිතාරණ
මාළු මිල ඉහළ යාම හා ඇතැම් මාළු වර්ග හිඟ වීමෙන් ආපණශාලා හා අවන්හල් හිමියන් දුෂ්කරතාවන්ට පත්ව සිටින බව සමස්ත ලංකා ආපණශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
දෛනිකව ජනතාව මිලදී ගන්නා බත් පැකට් සැලකීමේදී සියයට පනහකට ආසන්න ප්‍රමාණයක ඉල්ලුමක් පවතින්නේ මාළු කැබැල්ලක් සහිත බත්වලට බවද එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේය.
පසුගිය කාලයේදී රුපියල් 200 ට රුපියල් 250 ට අලෙවි වූ සාලයා කිලෝවක මිල මේ වන විට රුපියල් 700 ඉක්මවා ගොස් තිබෙන බවද රුපියල් 300කට පමණ අලෙවි වූ ලින්නා කිලෝවක මිල රුපියල් 1000කට ආසන්න බව ද ඔහු පැවසීය.
තලපත් හා කෙලවල්ලා කිලෝවක මිල රුපියල් 3000කට ආසන්න බවත් හුරුල්ලා හා අලගොඩුවා යන මාළු සොයාගත නොහැකි තරමට හිඟ වී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
රාත්‍රී කාලයට ජනතාව “රයිස්, කොත්තු” ඉල්ලා සිටිය ද දහවල් කාලයේ දී හා උදේ කාලයේ දී වැඩි වශයෙන් ඉල්ලා සිටින්නේ මාළු සහිත බත් බව ද ඔහු පැවසීය.
මේ නිසා මාළු මිල පාලනය කිරීමේ හා පවතින හිඟය අඩු කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව සභාපතිවරයා පැවසීය. පවතින තත්ත්වය නිසා ආපණශාලා හා අවන්හල් හිමියන් මෙන්ම සමාන්‍ය ජනතාව ද පීඩාවට පත්ව සිටින බව ඔහු සඳහන් කළේය.