මාර්ග සංවර්ධන අධිකාරියේ අනියම් සේවකයන් ස්ටීර කරන්නැයි ජනාධිපතිට සන්දේශයක්


ඉන්දික හේවාවිතාරණ 

මාර්ග සංවර්ධන අධිකාරියේ ස්ථිර සේවකයන් සිදුකරන සියලු‍ම රාජකාරි කටයුතු අනියම් පදනමින් සේවය කරන සේවකයන්ද සිදුකළත්  වැටුප් ලබා දීමේදී බරපතළ විෂමතාවක් පවතින බව එම අධිකාරියේ එක්සත් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිහාල් අජිත් සඳහන් කළේය. 

අනියම් පදනමින් සේවය කරන කම්කරුවෙකුගේ මාසික වැටුප රු. 35000ක් පමණ බවත් ස්ථිර සේවකයෙකුගේ මාසික වැටුප රුපියල් හැටදහසකට ආසන්න බවත් ඔහු සඳහන් කරයි.   

මාර්ග සංවර්ධන අධිකාරියේ ස්ථිර කම්කරු නතතුරු 850කට වැඩි ප්‍රමාණයක් පුරප්පාඩු වී තිබියදී  වසර දහයක කාලයක සිට සේවකයන් 1039ක් අනියම් පදනමින් සේවය කරමින් සිටින බවද හෙතෙම පැවසීය.

මෙම පිරිස් ස්ථිර කරන ලෙස පසුගිය ආණ්ඩුවෙන්ද ඉල්ලීම් කළ පරිදිම පෙරේදා (04දා) ජනාධිපති අනුර කුමාර දිසානායක ලබා දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලට සංදේශයක් භාර දුන් බවද ඔහු පැවසීය. 

පවතින පුරප්පාඩු සඳහා මෙම පිරිස් බඳවා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීමේ  මූලික කටයුතු සිදුකර තිබුණත් ඉන් ඉදිරියට සිදුවිය යුතු කටයුතු තවමත් සිදුවී නොමැති බවද එක්සත් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය. අනියම් පදමින් සිටින සේවකයෙකුට දෛනික වැටුප ලෙස දිනකට ලබා දෙන්නේ රුපියල් 850ක මුදලක් බවද පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 5000ක මුදලක් හා තවත් සුළු දීමනාවක් ලබා දෙන බවද ඔහු පැවසීය. මේ අනුව මෙම සේවකයෙකුගේ මාසික වැටුප වන රුපියල් 35000ක මුදලින් පවුලක් නඩත්තු කිරීමට නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

ස්ථිර සේවයේ කම්කරුවෙකුගේ වැටුප රුපියල් 60000කට ආසන්න වන නිසා අනියම් පදනමින් වසර 10 ක පමණ සේවා කාලයක් ඇති මෙම පිරිස් ස්ථිර සේවයට ඇතුළත් කරගත යුතු බවද ඔහු පැවසීය. 

මේ නිසා මුලින්ම දැනට තිබෙන පුරප්පාඩු 850 සඳහා මෙම පිරිසෙන් අනුයුක්ත කළ යුතු බවත් ඉන් පසුව පුරප්පාඩු වන ආකාරයට ඉතිරි පිරිස්ද ස්ථිර සේවයට ඇතුළත් කර ගත යුතු බවත් ඔහු පැවසීය.