මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍ය වෘත්තීය සංගම් සටනට


ගයාන් සූරියආරච්චි

වත්මන් රජය පොලිසිය මෙහෙයවමින් මාධ්‍ය නිදහස සහ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය අනීතිකව මර්දනය කිරීමේ උත්සාහයක නියැළෙන බව මාධ්‍ය සංගම් පවසයි.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයට එරෙහිව අනීතික ලෙස ගම්පොළ පොලිසිය වෙත කැඳවීම සහ හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටීම මගින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසත්, මාධ්‍ය නිදහසත් මර්දනය කිරීමට උත්සාහ ගන්නා බවය.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන මර්දනය කිරීම සඳහා පොලිසිය මෙහෙයමින් රජය ගන්නා උත්සාහය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකි.

අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය හා ඒ ආශ්‍රිත ආයතනවල පවතින වංචා සහ දූෂණ ගණනාවක් පිළිබඳව මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමේ සිද්ධියකට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගෙන් සාක්ෂි ලබා ගැනීමකට පෙරේදා (26දා) පෙ:ව: 11.00 ට පැමිණෙන ලෙස ගම්පොළ පොලිසිය ඔහුට දැනුම් දී තිබිණ.

එමෙන්ම හිරු මාධ්‍ය ආයතනය මගින් විකාශය කළ ගංජා වැටලීමකට අදාළ ප්‍රවෘත්තියකදී, ගංජා වැටලූ පොලිස් නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරයක් හා ජාතික ජන බලවේග ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයකට අදාළ ගංජා හේනේ අයිතියට ඇති සබඳතාව පිළිබඳව අනාවරණය කිරීමක් සම්බන්ධයෙන් එම ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් ලෙස අර්ථ ගන්වමින්, හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට පොලිසිය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. 

ඒ අනුව පොලිසිය අදාළ මාධ්‍යවේදියාගේ හා මාධ්‍ය ආයතනයේ නිදහස් මාධ්‍ය කටයුතු සඳහා මැදිහත් වී ඇත්තේ අනීතික මර්දනයක් සිදුකිරීමේ අභිලාෂයෙන් වන අතර නිවැරදි නොවන ප්‍රවෘත්ති මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන වෙතින් සමාජගත වී ඇත්නම් ඊට ක්‍රියාත්මක කළ හැකි පිළිගත් ක්‍රමවේද හා නෛතික තත්ත්වයන් තිබියදී පොලිසිය මගින් රජයට හීලෑ කර ගැනීමට නොහැකි මාධ්‍යවේදීන් හීලෑ කර ගැනීමේ මර්දනයක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

මේ අතර ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිරු මාධ්‍ය ජාලයේ පසුගිය 21 වැනිදා විකාශය කළ පුවතක් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කරන ආකාරය මෙරට මාධ්‍ය නිදහසේ ආරක්ෂාවට තර්ජනයක් සහ බලපෑමක් එල්ල කර ඇති බව සඳහන් කරයි.

ප්‍රවෘත්තියක් සම්බන්ධව කටයුතු කිරීමේදී ඒ සඳහා භාවිත වන නිවැරදි ක්‍රමවේදයෙන් බැහැරව පොලිසිය යොදවා බලපෑම් කිරීම පිළිගත නොහැකි බවත් පැමිණිල්ලකදී ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැකි බවත් එම නිවේදනය පෙන්වා දෙයි. පොලිසිය ලවා බලපෑම් කිරීම මහජනතාව සතු තොරතුරු දැනගැනීමේ අයිතියට සිදු කෙරෙන තර්ජනයක් බව ද එය භයානක පූර්වාදර්ශයක් බව ද එම සංගමය කියයි.