මහින්දානන්ද නලින් හිරගෙදර මුද්‍රණ වැඩට! ජම්පරයත් අන්දවයි...


සුජිත් හේවාජුලිගේ

බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කෙරුණු මහින්දානන්ද අලු‍ත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් බොහෝ දුරට බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයේ යෙදවෙනු ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් අද හෙටම එම වැඩ පැවරීම කෙරෙනු ඇත. මේ අතර දඬුවම් නියම වුණු සිරකරුවන්ට නිකුත් කෙරෙන ‘ජම්පරය’ නමැති ඇඳුම හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට ලබාදුන් බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක පැවසීය.

එසේම  දෙදෙනා බන්ධනාගාර වෛද්‍යවරයාට යොමු කළ බවද ඔහු සඳහන් කළේය.

2015 ජනාධිපතිවරණ සමයේ දී කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් නීති විරෝධී ලෙස ක්‍රීඩා සංගම් අතර බෙදා හැරීමෙන් රුපියල් කෝටි පහකට වැඩි පාඩුවක් කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිතව  වසර 20ක සිර දඬුවමක්ද, සතොස  හිටපු සභාපති හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිතව වසර 25ක සිර දඬුවමක්ද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඉකුත් 29 වැනිදා නියම කරනු ලැබීය.