මහනුවර මානව හිමිකම් කාර්යාලයට සීල් තබයි


ෂේන් සෙනෙවිරත්න 

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලය මේ වන විට මුද්‍රා තබා පොලිස් ආරක්ෂාවක් ද යොදා තිඛෙන බැවින් විවිධ සේවාවන් පතා එහි පැමිණෙන ජනතාව මහත් අපහසුතාවකට පත් වෙමින් සිටී.

මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා මාවතේ පිහිටි මෙම ශ්‍රී ලංකා මානව හිමිකම් ප්‍රාදේශීය කාර්යාලයට ඉකුත් 29 වැනිදා රාත්‍රියේ කොමිසමේ ලේකම්වරයා පොලීසිය ද සමඟ පැමිණ එම කාර්යාලයට කිසිවකුටත් ඇතුළ් වීමට නොහැකි ​වෙන ආකාරයට මුද්‍රා තබා පොලිස් ආරක්ෂාවක් ද යොදා තිබේ.


මහනුවර මානව හිමිකම් ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරකවරයා ලෙස පසුගිය අප්‍රේල් මස 02 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විරංජන් සුමනසේකර නැමැති නිලධාරියකු එම කොමිෂන් සභාවේ සභාපතිනියගේ නියෝග පරිදි පත් කර එවා තිබූ අතර ඒ වෙන විට එම කාර්යාලයේ ප්‍රාදේශීය සම්බන්ධිකාරකවරිය ලෙස කටයුතු කළ කුමුදුණී විතාන මහත්මිය එම පත්වීම පිළිනොගැනීම හේතුවෙන් එම කාර්යාලයේ අර්බුදකාරී තත්ත්වයක් පැනනැගුණි‚ .


මෙම අර්බුදය දිගින් දිගටම පැන නගිමින් පවතිද්දි 2023-03-09 දිනැති ලිපියෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය ගේ අත්සනින් යුතුව කුමුදුණී විතාන මහත්මියට ලිඛිතව දන්වා එවා තිබුණේ ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් ජ්‍යේෂඨ නිලධාරියකුගේ නීත්‍යානුකූල නියෝග ක්‍රියාත්මක නොකිරීම ප්‍රතික්ෂේප කිරීම හෝ අකීකරු වීම හෝ පැහැර හැරීම සිදු කර ඇති බැවින් සේවය අතහැර ගියා සේ සලකන බවයි.


කෙසේ නමුත් මෙම තත්ත්වය එසේ පවතිද්දී ඉකුත් 29 වැනි දින කොමිසමේ ලේකම්වරයා එම ප්‍රාදේශීය කාර්යාලට පැමිණීමත් සමඟ කාර්යාල පරිශ්‍රය තුළ මහත් උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වීමත් සමඟ එම කාර්යාල පරිශ්‍රයට මුද්‍රා තබා පොලිස් ආරක්ෂාව යෙදවීමට කොමිසන් සභාව පියවර ගෙන තිබුණි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වරයෙකු වන විජිත නානායක්කාර මහතා පවසන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය සිටින්නේ කොමිෂන් සභාව ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට බවත් මහනුවර සම්බන්ධීකරණ නිලධාරිනියට දී ඇති ස්ථාන මාරුව මාරු මණ්ඩලයේ තීරණයක් නොවන බවයි . එම ස්ථාන මාරුවට එරෙහිව උසාවියෙන් රිට් ආඥාවක් ගෙන තිඛෙන බවද ඒ මහතා පැවසීය.