මහනුවර කතරගම දේවාලයේ ඡන්දයකදී අල්ලස් ගත් බවට පැමිණිළි


අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ

ෂේන් සෙනෙවිරත්න
මහනුවර කතරගම මහා දේවාලයට බස්නායක නිළමේවරයෙකු පත් කර ගැනීමේදී එහි ඡන්ද දායකයන් අල්ලස් ලබාගත් බවට ලද පැමිණිල්ලකට අනුව එහි ඡන්ද දායකයන්ට මේ මස 15 වැනි දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කොට තිබේ.
 
එම කොමිෂන් සභාවේ ස්ථානාධිපති සාගර කරසිංහ ආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම ලිපියේ සඳහන්ව ඇත්තේ 2023/01/13 වැනි දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට සම්බන්ධ කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා පත් කර ගැනීම සඳහා පැවති නිලවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් විසින් ඡන්දය පාවිච්චි කරන ලද අයවලු‍න්ට අල්ලස් වශයෙන් මුදල් ලබා දී ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අදාළව කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවයි.

ඒ අනුව එහි ඡන්දය භාවිත කළ මහා විහාර භාරකාර හිමිවරුන් හතර නමකටත් සතර මහා දේවාලවල බස්නායක නිලමේවරුන් ඇතුළු පිටිසර දේවාලවල බස්නායක නිලමේවරුන් මහනුවර දිස්ත්‍රික්කයේ පිරිමි ප්‍රාදේශීය ලේකම්වරුන් දස දෙනෙකුහට එම නොතීසි නිකුත් කොට තිබේ.

එදින එම නිලවරණයට ඉදිරිපත් වූ කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ගැමුණු වනසුන්දර මහතා විසින් ජනමාධ්‍යයට කරන ලද ප්‍රකාශයකට අනුව අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කොට වලිසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව එහි ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කොට තිබේ.